15976 BM WEB BANNER 01
Dec 14, 2016

“චෝදනා ඔප්පු වුනොත් ඕන දඬුවමකට යටත්”- තලතා Featured

තමන්ට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය භාරදුන් පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන්නැයි අමාත්‍ය තලතා අතුකෝරළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අද (14) ලිඛිතව ඉල්ලා සිටියාය.

වත්මන් ආණ්ඩුවේ දූෂිතම අමාත්‍යවරුන් හෙවත් 'ටොප් ටෙන්' ලැයිස්තුවේ 4 වැන්නා ලෙසට නම් කරමින් තලතා අතුකෝරළ මහත්මියට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය ඉකුත්දා මෙම පැමිණිල්ල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාරදී තිබිණ.

විදෙස්ගතවන ශ්‍රමිකයන්ට අලුතින් හඳුන්වා දුන් රක්‍ෂණාවරණයකින් රුපියල් මිලියන 1500 ක් වංචා කර ඇති බවට එමගින් අමාත්‍යවරියට චෝදනා නගා ඇත.

වසරකට ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයින් ලක්ෂ 03 ක් පමණ විදේශ ගතවන අතර, එසේ විදේශ ගත වන සෑම ශ්‍රමිකයෙක්ම කුවේට් හි පිහිටි Gulf Insurance and Reinsurance නැමැති රක්ෂණ සමාගමෙන් ඇමරිකානු ඩොලර් 100 ක් ගෙවා රක්ෂණය වියයුතු බව සඳහන් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා විසින් 2015 අගෝස්තු මස 26 දිනැති චකුලේඛයක් නිකුත් කරමින් සියලූම ඒජන්සිකරුවන් වෙත දැනුම්දී ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් විය.

මෙම රක්ෂණ කුමය ඇමරිකන් ඩොලර් 100 ක මුදලකට Gulf Insurance and Reinsurance නැමැති රක්ෂණ සමාගමට ලබාදෙන විට එරට තවත් සමාගම් දෙකක් විසින් මෙම රක්ෂණ ක්‍රමයම මීට වඩා වැඩි පහසුකම් සමඟ ඇමරිකානු ඩොලර් 60 කට විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මීට පෙර ලබාදී ඇති බවත්, මෙම සමාගම් දෙකම ඇමරිකානු ඩොලර් 60 කට එකඟතාවය පලකර තිබියදී කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ අමාත්‍ය මණ්ඩල සංදේශයක් හෝ ඉදිරිපත් නොකර Gulf Insurance and Reinsurance සමාගමට ලබාදීමෙන් සෑම ශ්‍රමිකයෙකුගෙන්ම ඇමරිකානු ඩොලර් 40 ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 6000.00 ක් වංචා කර ඇති බවත් එම පැමිණිල්ල මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබිණ.

කෙසේවුවද ඒ සම්බන්ධයෙන් කොළඹදී අද (14) මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය කියාසිටියේ තමන් රජයට සතයක හෝ අලාභයක් කර ඇතැයි ඔප්පු වුවහොත් ලබාදෙන ඕනෑම දඬුවමකටද යටත් වන බවයි.

අදාළ පැමිණිල්ලෙන් තමන්ට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් ඉදිරියේදී එම පැමිණිල්ල කළ සියලු දෙනාගෙන් වන්දි ඉල්ලා නඩු පවරන බවද අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මෙහිදී කියා සිටියාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top