Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 15, 2016

'රාජ්‍ය සේවයේ ඉහළ මට්ටම් නව විගණන පනතට බයයි' Featured

ආණ්ඩුවටත් වඩා රාජ්‍ය සේවයේ ඉහළ මට්ටම් වලින් නව විගණන පනතට බිය පළවී ඇතැයි විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

එසේවුවද, අලුතින් ක්‍රියාවට නැංවීමට නියමිත නව විගණන පනත ශ්‍රී ලංකාවට සහ රටේ රාජ්‍ය සේවයට ආශීර්වාදයක් වනු ඇතැයි ඔහු කියා සිටියි.

විගණකාධිපතිවරයා එම ප්‍රකාශය කළේ 'බීබීසී සංදේශය' සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

නව විගණන පනත සම්මත කර ගැනීම අතින් අනවශ්‍ය කාල ප්‍රමාදයක් සිදු වූ බව පෙන්වා දුන් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා, පසුගියදා ජනාධිපතිවරයාත් මෙම පනත ගැන පාර්ලිමේන්තුවේ දී කරුණු දැක්වූ බව සඳහන් කරමින් එය ප්‍රමාදයකින් තොරව නීතිගත කෙරෙනු ඇතැයි තමා විශ්වාසකරන බවත්  කියා සිටියේය.

විගණන පනත මෙතරම් ප්‍රමාදවීමට හේතුව ඊට එරෙහිව එල්ල කෙරෙන ඇතැම් බලපෑම් බව තමාට දැනගන්නට ලැබී ඇති බවත් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසිය. 

වෙනසක උවමනාව
"ශ්‍රී ලංකාව වෙනස්වීමට අකමැති සමාජයක්. ඒත් වෙනසක් සිදුකරලා ටික දිනකින් තේරුම් ගන්නවා ඒ වෙනස හොඳයි කියල. විගණන පනතත් ඒ වගෙයි. අවුරුද්දක දී එහි අගය තේරේවි," විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නව පනත නීතිගත කරනු ලැබීම තවත් ප්‍රමාදයකින් තොරව ලබන අවුරුද්ද මුලදී සිදු කෙරෙනු ඇති බවට විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා බලාපොරොත්තු පළකරයි.

"විගණකාධිපති කියන්නේ රටේ ඉහළම මට්ටමේ සුපරීක්ෂාකාරී ආයතනය. කලින් එම කාර්යය පැවරුණ ආණ්ඩුවේ ගණකාධිකාරී අංශයත් නව පනත අනුව විගණකාධිපතිට යටත් කෙරෙනව. නව පනතට විරෝධය එල්ල වෙන්නේ ඒ නිසාය කියල දැනගන්න තියෙනව," විගණකාධිපති ගාමිණී විජේසිංහ සඳහන් කළේය.

අලුත් සංස්කෘතියක්:
තවදුරටත් අදහස් දක්වන විගණකාධිපතිවරයා 'නව විගණන පනත යටතේ සමස්ත රාජ්‍ය සේවය විගණකාධිපති අධීක්ෂණයට ලක්වීම මගින් අලුත් සංස්කෘතියක් ගොඩනැගෙනු ඇතැයි' තමා විශ්වාස කරන බවත් කියාසිටියේය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින විගණන ක්‍රමවේදය පිළිබඳව යොමු වූ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා, දැනට පවතින ක්‍රමවේදය පසුගාමී වැඩපිළිවෙලක් වනබව සිය දැක්ම යයි සඳහන් කළේය.

"අපේ අණපනත් අලුත්වෙලා නැහැ. දැන් පවතින ඇතැම් නීති ඉංග්‍රීසි පාලන කාලයේ සකස් කළ ඒවා. ඒවා යල්පැන ගිහින්. යාවත්කාලීන වෙලා නැහැ. ඒවා වර්තමාන ලෝකයේ පරිගණක තාක්ෂනයට ගැලපෙන ආකාරයට සකස් වෙලා නැහැ," විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top