Dec 15, 2016

නාවික හමුදාව පලි ගන්නා බවට චෝදනා !

මාස දෙකකට ඉහත දී මන්නාරමේ ධීවර ගම්මානයකට රාත්‍රියේ කඩා වැදුනු නාවික බුද්ධි අංශයේ සෙබළුන් පිරිසක් අල්ලාගත් ගම්වාසීන් සහ නාවික හමුදා කඳවුරක් අතර හටගත් ගැටුම්කාරී තත්වයකින් අනතුරුව ප්‍රදේශයේ ධීවරයන්ට දිගින් දිගටම නාවික හමුදාවේ පලි ගැනීම්වලට ලක්වන බව මන්නාරම ධීවර ප්‍රජාව පවසති.

මුහුදේ මසුන් මරන ධීවරයන්ගේ කටයුතු වලට නාවික හමුදාව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව බාධා කරන බව එමිලියාම් පිල්ලෙයි ඩැනී කැලිස්ටස් පියතුමා පැවසුහ.

මෙම කාල වකවානුව මත්ස්‍ය අස්වැන්න නෙලීමට සුදුසු කාල සීමාවක් වන නමුත් මේ අයුරින් නාවික හමුදාව විසින් සිදු කරන අඩන්තේට්ටම නිසා ධීවරයන්ගේ ජීවිකාව මෙන්ම ආදායම් මාර්ගයද අනතුරට ලක් වන බව ඩැනී කැලිස්ටස් පියතුමා පෙන්වා දෙති.


‘අනවසර’ ධීවර කටයුතු


පසුගිය සති අන්තයේත් ඒ අයුරින් නාවික හමුදාව විසින් මසුන් මරමින් සිටි ධීවරයන්ට අවහිර කර තිබෙන බව මන්නාරමේ ඩැනී පියතුමා කියා සිටියහ.

අනවසර මසුන් මැරීමේ යෙදුනු බවට ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් යාත්‍රා සමග අත් අඩංගුවට ගනු ලබන්නේ නාවික හමුදාව සමග ගැටුනු මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අරිප්පු ගම්මානයේ ධීවරයන්ගෙන් පළිගැනීමට බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

සිලාවතුර මුහුදේ පසුගිය 10 සෙනසුරාදා මසුන් මරමින් සිටි ධීවරයන් 25 ට අධික පිරිසක් සහ ධිවර යාත්‍රා 6 ක් අත්අඩංගුවට ගෙන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට භාර දීමට නාවික හමුදාව කටයුතු කර තිබුණි.


අධිකරණයෙන් නිදහස්


කෙසේ නමුත් අධිකරණය මගින් ධීවර යාත්‍රා 6ක් පමණක් අධිකරණය භාරයේ තබා ගනිමින් ධීවරයන් සියලු දෙනා නිදහස් කිරීමට පියවර ගෙන තිබුණේ ඔවුන් නීති විරෝධී ලෙස මසුන් මැරීමේ යෙදුන බවට ඔප්පු කිරීමට නොහැකි වු නිසා බව නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි අත්අඩංගුවට පත් ධීවරයෙක් කියා සිටියේය.

තමා ඇතුලු ධිවරයන් 25 දෙනකු පමණ යාත්‍රා හයකින් සැතපුම් 7 ක් පමණ දියඹේ මසුන් මරමින් සිටි අවස්ථාවේ එම ස්ථානයට පැමිණ හිරිහැරකාරී ලෙසින් බාධා කළ නාවික හමුදාව පැය 3 ක් පමණ කාලයක් තමන් ඇතුලු පිරිස කිසිදු හේතුවක් නොමැතිව මුහුදේ රඳවා තබා ගෙන පසුව නාවික හමුදා කදවුරට පැමිණෙන ලෙස‍ ඔවුන් නියෝග කළ බව ඔහු වැඩි දුරටත් පැවසිය.

එම අවස්ථාවේ ධීවර යාත්‍රා 6 න් යාත්‍රා 3 ක අල්ලාගත් මසුන් සිටි අතර නාවික හමුදා කදවුරට පැමිණිමට සිදු කළ වරද කුමක්දැයි විමසීමේදී කදවුරට පැමිණෙන ලෙස ගිනි අවි පෙන්වමින් තර්ජනය කළ බවද ඔහු කියා සිටියේය.

මසුන් මැරීමට අවසර ඇත්තේ කිලෝ මීටර් 10 ට එහා මුහුදේ වුවත් එදින තමන් මසුන් මරමින් සිටියේ කිලෝ මීටර් 7 ක ප්‍රදේශයේ වන අතර නාවික හමුදාව සහ ගම්වැසියන් ගැටුමක් ඇති කරගැනීමට පෙර එහි මසුන් මැරීමේදී කිසි විටෙකත් නොකළ බාධා කිරීම් නාවික හමුදාව විසින් අලුතින් පටන්ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

ධීවරයන් සෙනසුරාදා එම ප්‍රදේශයේ මසුන් මරමින් සිටියේ එහි මාලු බහුල ලෙසින් ගැවසෙන නිසා බව ඔහු සදහන් කරයි.

(radiogagana)

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top