nsb

Dec 15, 2016

නොමිලේ පියයුරු පිළිකා හඳුනා ගැනීමට යන්ත්‍රයක්‌

වර්ෂකට ශ්‍රී ලංකාවෙන් පියයුරු පිළිකා රෝගීන් 4000 ක්‌ පමණ වාර්තා වුවත් මුළු රටේම පියයුරු පිළිකා පරීක්‍ෂාව සදහා රජයේ රෝහල්වල ඇත්තේ මැමෝග්‍රෑම් (mammography) යන්ත්‍ර 11 ක්‌ බව ඊයේ (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි විය.

මෙම යන්ත්‍රවලින් වැඩි ප්‍රමාණයක්‌ (7 ක්‌) තිබෙන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ බව ද පිළිකා රෝග පිළිබඳ වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා ඊයේ කථානායක නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

පෞද්ගලික රෝහල්වල පමණක්‌ මෙවැනි යන්ත්‍ර 15 ක්‌ ඇති බව ද හෙතෙම කියා සිටියේය.

පියයුරු පිළිකා පරීක්‍ෂා කර ගැනීම සඳහා දැනට ජාතික රෝහලේ මැමෝග්‍රෑම් යන්ත්‍ර 2 ක්‌ නාරාහේන්පිට1 ක්‌, මහරගම 3 ක්‌, කළුබෝවිල 1 ක්‌, කරාපිටිය 01 ක්‌, මහනුවර 01 ක්‌, පොලොන්නරුව 01 ක්‌ සහ යාපනයේ 01 ක්‌ තිබෙන බවද රජයේ රෝහල්වලින් නොමිලේ මැමෝග්‍රෑම් පරීක්‍ෂණය සිදු කළත් එම පරීක්‍ෂණය පෞද්ගලික රෝහලකින් කරවාගැනීමට රුපියල් 7500 ක්‌ 8000 ක්‌ පමණ වැය වන බව ද වෛද්‍යවරයා පැවැසීය.

ඉන්දිරා වෙනුවෙන් ඩිජිටල් මැමෝග්‍රෑම් යන්ත්‍රයක්‌

කථානායක කරු ජයසූරිය මහතාගේ දියණිය වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය පිළිකා රෝගය වැළඳීමෙන් මියයැමේ සිද්ධිය මුල් කරගෙන ඇයට පිං පිණිස ඉන්දිරා ජයසූරිය සරණ සේවය මගින් ජංගම ඩිජිටල් මැමෝග්‍රෑම් යන්ත්‍රයක්‌ හඳුන්වාදීම ද මේ අවස්ථාවේ සිදුවුණි.

මෙම යන්ත්‍රය ඇමරිකාවෙන් ආනයනය කර ඉන්දියාවේදී වාහනයක සවිකර දිවයින පුරා නොමිලේ මැමෝග්‍රෑම් පරීක්‍ෂාවට යොදවන බව ඉන්දිරා ජයසූරිය මහත්මියගේ සොහොයුරිය වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය සදහන්කර සිටියාය.

මෙම ජංගම යන්ත්‍රය මගින් පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා දිනකට කතුන් 100 ත් 120 ත් පරීක්‍ෂාවට ලක්‌ කරන බවත් ඒ සඳහා විශේෂඥ වෛද්‍ය මණ්‌ඩලයක්‌ කටයුතු කරන බව ද කියා සිටියාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top