nsb

Dec 16, 2016

රුපියල් 5000 නෝට්ටු අවලංගු කිරීමේ සුදානමක් ! Featured

රුපියල් 5000 නෝට්ටුව අවලංගු කිරීමේ සුදානමක් පවතින බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

තමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඉන්දියාවේ මුදල් නෝට්‌ටු අවලංගු කිරීමේ ප්‍රශ්නයට තුඩු දුන් දේවල් මෙහේ සිදුව ඇති නිසා ඒ ගැන සොයා බැලිය යුතු බව මිස රු. 5000 නෝට්‌ටු මහ බැංකුව මගින් යළි ලබා ගන්නා බවක්‌ නොවේ යෑයි මුදල් ඇමැතිවරයා ඊයේ (15) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  පැවසුවද, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පසුගිය ආණ්‌ඩුව සමයේ ඡන්දයට පෙර රු. කෝටි 1300 ක මුදලක්‌ පිටවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා  මතුකළ සැකයෙන් එකී සුදානම පිලිබඳ ඉඟියක් පළකරයි.

ඉන්දීය අගමැති මෝදි මහතා පන්දහසේ නෝට්‌ටුවලට කළ දේම අපිත් කරන්න බලාපොරොත්තු වෙනවා යෑයි පසුගිය සෙනසුරාදා (10 වැනිදා) පාර්ලිමේන්තුවේදී මුදල් වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී ද කියා සිටි මුදල් ඇමතිවරයා, ඊයේ මෙසේ ප්‍රකාශ කළේය.


ඉන්දියාවට සමාන දේවල් :


''ඉන්දියාවේ මෝදි අගමැතිතුමා රු. 1000 සහ රු. 5000 නෝට්‌ටු අවලංගු කිරීමේ ප්‍රශ්නයට සමාන දේවල් මෙහෙත් පේන්න තියෙනවා. විපක්‍ෂයේ විරෝධතා රැලි ගාව මේ රු. 5000 නෝට්‌ටු සංසරණය වෙනවා. ඒ සංසරණය වීම සම්බන්ධයෙන් දැන් තියෙන මුදල් නෝට්‌ටුවල අංක බැඳීමක්‌ නැහැ.

මෙන්න මේක තමයි අපි බලන්න කිව්වේ. ඒකෙන් කොහෙද අර්ථකථනය වෙන්නේ මුදල් නෝට්‌ටු හතරම අවලංගු කරනවා කියල. අපි එහෙම කිව්වේ නෑ. එහෙම පුවත්පත්වල ගියහම යම් අයට බයක්‌ ඇති වන බව''ද මුදල් ඇමැතිවරයා කීවේය.


ව්‍යාජ නෝට්‌ටු ද?


ප්‍රශ්නය - ඔබතුමා කියන්නෙ එම රු. 5000 නෝට්‌ටු ව්‍යාජ නෝට්‌ටු කියලද?

පිළිතුර - නෑ. එහෙම කියන්න බෑ. එහෙම වගකීමෙන් කියන්න බැහැ. මම අර්ථකථනය කරන්න හදන දේවල් ඔබතුමාලට තේරෙනවා මම හිතන්නෙ. එවැනි සියුම් මට්‌ටමක වෙනින් දේවල් වෙලා තියන එක වෙන්න පුළුවන්.

ප්‍රශ්නය - ඒ කියන්නෙ මහ බැංකුව නිල වශයෙන් නිකුත් කරන්න කලින් නීත්‍යනුකූල නෝට්‌ටු එළියට ආව කියලද ඔබතුමා කියන්නේ?

පිළිතුර - නෑ. ඒකත් නොවෙයි. ඔබතුමාලා දන්නවනෙ ඡන්දෙට දවස්‌ දෙකකට කලින් මහ බැංකුවෙන් රු. කෝටි 1300 ක්‌ එළියට ආව කියලා. එහෙම කොහොමද ගියේ. මෙන්න මේවා තමයි අපිට බලන්න අවශ්‍ය වෙන්නේ. ඇහුව නිසා කිව්වෙ. නැත්නම් හිතයි මම බාගෙට උත්තර දෙනව කියලා ඒවට වගකීමෙන් උත්තර දෙන්න ඕන. නැත්නම් නිකං ගින්නක්‌ ඇති කරන්න අවශ්‍යතාවක්‌ නෑ.


මට වඩා ඉහළින් වන දේවල් :


ප්‍රශ්නය - රජය ඒ සඳහා ගන්න පියවර කුමක්‌ද?

පිළිතුර - අපි බලාගෙන ඉන්නව පරීක්‍ෂණ කරගෙන යනවා. ලොරිවල ගිය ඒවයි ඔක්‌කොම බලනවා. පොලිසිය සහ එෆ්.සී.අයි.ඩී. එක ඔක්‌කොම කටයුතු කරගෙන යනවා.

ප්‍රශ්නය - මේ සියලු මුදල් පිටවෙලා තියෙන්නේ රු. 5000 නෝට්‌ටුවලින්මද?

පිළිතුර - ඒව ගෙනිච්ච අයගෙන් අහන්න.

ප්‍රශ්නය - ඔබතුමාද මේ ගැන පරීක්‍ෂණයක්‌ කරන්න උපදෙස්‌ දීල තියෙන්නේ.

පිළිතුර - මට වඩා ඉහළින් වන දේවල් වුණ එක තමයි මම කිව්වෙ.


FCID පරීක්‍ෂණයක් :


ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පසුගිය ආණ්‌ඩුව කාලයේ ඡන්දයට පෙර රු. කෝටි 1300 ක මුදලක්‌ පිටවී ඇති බවද ඒ සම්බන්ධයෙන් පොලිසියෙන් සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයෙන් පරීක්‍ෂණයක්‌ සිදු කෙරෙන බවද මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (15 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

මේ මුදල් ප්‍රමාණය මහ බැංකුවෙන් එළියට ආවේ කෙසේ දැයි බැලිය යුතු බවත් මුදල් ඇමැතිවරයා පැවසිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top