nsb

Dec 16, 2016

අනුර කියන නාස්තිකාර පුත්‍රයා රනිල් ද? මෛත්‍රීද ?

වර්තමාන ආණ්ඩුව වලව්වක ඉපදුනු නාස්තිකාර පුතෙකු සේ කටයුතු කරන බව අනුරකුමාර මහතා සඳහන් කර තිබේ.

ජවිපෙ නායකයා මෙසේ නාස්තිකාර පුත්‍රයා යනුවෙන් සදහන් කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහටද එසේ නැතිනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද යන්න පිලිබදව මේ වන විට කතාබහක් මතුවී තිබේ.

ඊයේ (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී පක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රටේ දේපොළ විකුණා දැමීම 1988 වසරේදී ආරම්භ කළ බවයි. එවකට ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකුණා දැමීමට සැලසුම් කරමින්, රාජ්‍ය දේපළ විකුණා දැමීම හරහා රටේ ආර්ථිකය ගොඩගැනීමට හැකියාවක් ඇතැයිකී බවද ඔහු සඳහන් කළේය.

එකම විෂ ටොපිය විවිධ දවටනවල ඔතලා

එහෙත් එම සංකල්පයට ජනතා විරෝධය එල්ල වීම නිසා රාජ්‍ය ආයතන විකුණා දැමීම යන වචනය ඉවත් කර ජනතාකරණය නමින් රාජ්‍ය ආයතන විකුණා දැමීම සිදුවූ බවද පක්ෂ නායකවරයා සඳහන් කළේය.

එහෙත් ජනතාකරණයෙන් රටේ ආර්ථිකය ගොඩගැනීමට නොහැකි වූ බවත්, මේ නිසා වර්තමාන ආණ්ඩුව රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යවසාය නමින් අලුත් සංකල්පයක් ඉදිරියට ගෙන තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

එහෙත් ජනතාකරණයත්, රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යවසායත් එකම විෂ සහිත ටොපියක් බවත්, මේ නිසා මෙමගින් රට ගලවාගැනීම සඳහා ජනතාව සමග පෙරමුණ ගන්නා බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

වලව්වකට ඉපදුණු බේබදු පුතෙක්

 'වරායවල් විකුණනවානම්, ඛනිජවැලි නිධි විකුණනවානම්, මිනිරන් පතල් විකුණනවානම් මේවා ආණ්ඩු නෙමෙයි.  පැරණි වලව්වල නාස්තිකර පුත්තු බිහි වුණාම මොකද වෙන්නේ කියලා ඔබ දන්නවා. වලව්වට අයිති පොල් ඉඩම්, වතුපිටි විකුණලා දානවා. වලව්වේ තිබෙන ඉතා වටිනා ලී බඩු විකුණා දානවා. බීලා නාස්ති කරන බේබද්දෝ වගේ වලව්වේ තිබෙන සියලූ සම්පත් විනාශ කර දානවා. මේ ආණ්ඩුවත් හරියට වලව්වකට ඉපදුණු බේබදු පුතෙක් වගේ. අපේ රටේ ආර්ථිකයට දායක කරගත හැකි ඉතා වටිනා ස්වභාවික සම්පත්, මානව සම්පත් තිබියෙදී නාස්තිකාර පුතෙක් වගේ කරිදායයා කරන පාලනයක් බවට රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුව පත්ව තිබෙනවා.'

රියල් ඩීල් මෙන්න

තමාට හෝ පක්ෂයට ආණ්ඩුව සමග ඩීල් නැතැයි කී දිසානායක මහතා ඩීල් ඇත්තේ කාටද යන්න පැහැදිලි කර සිටියේය.

 'පාස්පෝට් දෙකක් ළඟ තබාගැනීම බරපතළ වරදක්. ඒ වරදට හසුවුණු පුද්ගලයින්  ඕනෑ තරම් මීගමුව බන්ධනාගාරයේ ඉන්නවා. එහෙත් විමල් වීරවංශ එළියෙ ඉන්නෙ කොහොමද? උදය ගම්මන්පිලම කිවුවා, තමන් මේ ගැන රනිල් එක්ක කතා කළා කියලා. රනිල් කිවුවා, ‘විමල් අපිට විශ්වාසයි, එළියෙ හිටියට කමක් නැහැ’ කියලා. ඒ වගේම ඡන්ද නාම ලේඛනයේ අසත්‍ය තොරතුරු සඳහන් කිරීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් කියලා එහිම පසුපපිටේ සඳහන් වෙනවා. නමුත් විමල් වීරවංශ ඡන්ද නාම ලේඛනයට තමන්ගේත් බිරිඳගේත් අසත්‍ය තොරතුරු සඳහන් කළා. නමුත් ඔහුට දඬුවම් නැහැ.  ඒවා තමයි ඩීල්. සිරිලිය ගිණුම සම්බන්ධව විමර්ශන කටයුතු කරන්න ශිරන්ති රාජපක්ෂ එෆ්සීඅයිඩියට ගෙන්වනවා වෙනුවට මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමට අනුව රනිල් වික්‍රමසිංහ එෆ්සීඅයිඩිය ශිරන්ති ළඟට යැව්වා. ඒ විතරක් නෙමෙයි, සිරිලිය ගිණුමට එරෙහිව නඩු නොපවරන්න රනිල් වික්‍රමසිංහ ඉන්න කැබිනට් එකේ තීරණයක් අරන් තිබෙනවා. කදිරගාමර් නිවස විශාල වියදමක් කොට අලූත්වැඩියා කරලා මහින්ද රාජපක්ෂට ලබාදෙන අතරම තවත් ලක්ෂ 190ක පරිපූරකයක් වෙන්කොට නිවස අසල ගොඩනැගිල්ලක් තනාදෙන්න යනවා. මහින්ද රාජපක්ෂ චීනෙ යනකොට සියලූ රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් ලබාදෙන්න කියලා විදේශ කටයුතු අමාත්‍යංශය ඉල්ලීම් කරනවා. හිටපු ආණ්ඩුවේ ඛනිජ වැලි සමාගමේ සභාපති දෙවුන්දර දේවාලයේ නිලමේතුමාව අත්අඩංගුවට ගන්න එපායැයි සාගල රත්නායක පොලිස්පතිට ප්‍රසිද්ධියේ කතා කරනවා. අත්අඩංගුවට ගන්නේ නැති ඩිලන්ත වික්‍රමරත්න කියන්නේ නාමල් රාජපක්ෂගේ ගජ මිතුරෙක්. ඒ නිසා ඇත්ත ඩීල් තිබෙන්නේ ඔවුන් අතරයි. ඒ නිසා ජනතාවට අපි කියනවා, අපේ භාවිතයෙන් අපිව මනින්න කියලා. '

උද්ඝෝෂණවලින් රත් කරනවා

රටේ ආර්ථිකයට දායක කරගත හැකි රාජ්‍ය සම්පත් විකුණා දමමින්, බදු ලබාදෙමින් වත්මන් ආණ්ඩුව ක්‍රියාකරන ආකාරයට විරුද්ධව සහ රටේ සම්පත් රැකගැනීම සඳහා ජනවාරි මාසයේ සිට මෙරට උද්ඝෝෂණවලින් රත් කරන බව එම පක්ෂයේ නායක අනුරකුමාර මහතා සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top