Dec 18, 2016

‘ඇමරිකන් හඬ’ ඉරණවිලෙන් යයි - චීන සමාගමක් ඉඩම ඉල්ලයි Featured

අමෙරිකානු රජයට අයත්ව ක්‍රියාත්මක වූ හලාවත ඉරණවිල අමෙරිකානු හඬ (Voice Of America)  ගුවන් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ඉවත් කර ගැනීමට අමෙරිකානු රජය තීරණය කර ඇත.

මේ අතර එම ආයතනය පිහිටුවා තිබූ භූමිය ඇතුළත්ව අක්කර 5000 ක භූමි ප්‍රදේශයක් තමන්ට ලබා දෙන ලෙස චීනයට අයත් සමාගමක් ප්‍රබල ඇමැතිවරයකුට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

මෙම ඉරණවිල ප්‍රදේශය අමෙරිකානු සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා තෝරා ගනු ලැබුවේ ද එම ප්‍රදේශය තුළ සිට ගුවන් තරංග ආශ්‍රයෙන් කලාපීය ගවේෂණ ගණනාවක් සිදු කිරීමේ සුවිශේෂී පහසුකමක් පැවැතීම නිසා යැයි ද වාර්තා වී තිබිණි.

එමෙන්ම මෙම ආයතනය කලාපයේ යුද රහස් ඒකරාශී කිරීම සඳහා යොදා ගැනීම සිදු කරන බවට ද චෝදනා එල්ල වී තිබූ අතර මෙම භූමියේ රහසිගත ගුවන් පථයක් පවතින බවට ද තොරතුරු වාර්තා විය.

තහනම් කලාපයක් :

කෙසේ නමුත් එම භූමියට ශ්‍රී ලංකාවේ කිසිවකුට ඇතුල් වීම තහනම් කර තිබුණි. එය මුළුමනින්ම අමෙරිකානු රජයේ පාලනය යටතේ පැවැතිණි.

ප්‍රථමයෙන් අක්කර 920 ක පමණ කලාපයක් තුළ අමෙරිකානු තානාපති මුක්තිය යටතේ දැඩි රැකවල් මධ්‍යයේ මෙම ආයතනය පවත්වාගෙන ගියේය.

1983 දී මෙම අමෙරිකානු හඬ ආයතනය පිහිටුවීම සම්බන්ධ යෝජනාව ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබුණු අතර එහි ඉදිකිරීම ආරම්භ වූයේ 1993 වසරේදීය.

ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ බලපෑම හමුවේ එම කටයුතුවලට බාධා වූ නමුත් මුල් සැලසුමේ තිබූ කොටස් ගණනාවක් ඉවත් කර එය යළි ඉදිකිරීම සිදු කරනු ලැබීය.

එමෙන්ම එම භූමි ප්‍රදේශය අක්කර 520ක් දක්වා සීමා කිරීම ද සිදු විය.

ඉන්දීය රජයේ විරෝධය ?

මේ සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන ඇමැති මලික් සමරවික්‍රම මහතාගෙන් කළ විමසීමක දී අමෙරිකානු හඬ ආයතනය ඉවත් කර ගැනීම සිදු වන බව ඔහු විසින් තහවුරු කරනු ලැබීය.

නමුත් චීන රජය එම භූමිය ඉල්ලා ඇති බව තමන් නොදන්නා බව ඔහු පැවසීය.

කෙසේ නමුත් මෙම භූමියේ ඇති විද්‍යාත්මක වැදගත්කම මත මෙය චීනයට ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ දැඩි විරෝධය එල්ල විය හැකි බව තතුදත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මුල් අවස්ථාවේ දී ද ඉන්දීය රජය මීට එරෙහි වී තිබිණි.


(සත්හඬ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top