nsb

Dec 18, 2016

සිවිල් නායකයින් දියකර හැරීමේ සුදානමක් ! Featured

ආණ්ඩුවේ පැවැත්මට තර්ජනයක් විය හැකි යැයි සිතෙන සිවිල් ක්‍රියාකාරීන්ගේ වැඩ කටයුතු අඩාල කිරීමට ආණ්ඩුවට  හිතවත් ඇතැම් කණ්ඩායම් උත්සාහයක නියැලෙන්නේදැයි බරපතල සැකයක් මතුවන බව සිවිල් සංවිධාන ප්‍රධානින් පවසති.

සිවිල් ක්‍රියාකාරිකයන් සඳහා අමාත්‍යධූර පිරිනමන බවට ඉගිකරමින් අද (18) 'සත්හඬ' පුවත්පතේ ප්‍රධාන ශිර්ෂය යටතේ පලවී ඇති පුවත හා ඒ සම්බන්ධයෙන් ප්‍රවීන කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ රුවක් ද සහිත කොළඹ නගරය පුරා ප්‍රදර්ශනය කර තිබෙන පෝස්ටරය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රවීණ සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ සහ ප්‍රකට වෘත්තීය සමිති නායකයකු වන සමන් රත්නප්‍රිය යන මහත්වරුන් එම සැකය මතුකර ඇත.

''දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් සහ එජාපයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඉවත් කර ඒ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයන් අතරින් විෂය දැනුමක් සහිත ප්‍රබල ක්‍රියාකාරිකයන් පස්දෙනකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට නියමිතය.'' යයි එම පුවත මගින් අනාවරණය කර තිබිණ.


'පට්ටපල් බොරුවක්'


එම පුවතට හා පෝස්ටරයට අදාලව "ලංකා නිව්ස් වෙබ්' පුවත් වෙබ් අඩවිය වෙනුවෙන් මාධ්‍යවේදී ජයම්පති බුලත්සිංහල මහතා කල විමසීමකදී අදහස් දක්වා ඇති ගාමිණී වියන්ගොඩ මහතා එම පුවත පට්ටපල් බොරුවක් බව අවධාරණය කර සිටියි.

‘මේ නරාවලේ ඇමතිවරයෙක්වත් මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නෑ. මේක පට්ටපල් බොරුවක්. ධර්මසිරි කියල තියෙනවනම් බාරගන්නව කියල ඒක එයාගෙ එකක්. මට එහෙම යෝජනාවක් ඇවිල්ලා නෑ.  යූඑන්පී එක හරහා මගේ නම යෝජනා කරන බව පුවත්පතක කියලා තියෙන්නේ මට යූඑන්පී කාරයෙක් කියල මඩ ගහන්න'


කුමන්ත්‍රණයක් :


ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සමන් රත්නප්‍රිය මහතා, මෙය සිවිල් සමාජ සහ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය නැවැත්වීමට කරන කුමන්ත්‍රණයක් බව කියා සිටියි.

'' එහෙම යෝජනාවක් ඇවිල්ලා නෑ.  එහෙම බලාපොරොත්තුවකුත් නෑ. මේක අපේ සිවිල් සමාජ සහ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය නැවැත්වීමට කරන කුමන්ත්‍රණයක් කියලයි මට හිතෙන්නෙ. මෙහෙම අපි ආණ්ඩුවට සම්බන්ධ වෙනව කියල ජනතාවට කිව්වහම ජනතාව අප ගැන තියල තියෙන විශ්වාසය බිදෙනවත ඒක කරන්න මෙවැනි පුවතක් නිර්මාණය කරනව  කියලයි මට හිතෙන්නෙ'

poster Dec 18 


තාම ආරාධනාවක් නැහැ :


ධර්මසිරි බණ්ඩාරනායක මහතා මේදිනවල විදේශ ගතව සිටින බැවින් ඔහුගේ පුත් රංග බණ්ඩාරනායක මහතා හරහා මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා පවසා ඇත්තේ,  '' තමන්ට එවැනි ආරාධනාවක් ආණ්ඩුවෙන් පැමිණ නැති බවකි.

එවැනි තනතුරක් සම්බන්ධයෙන් ආරාධනාවක් පැමිණියහොත් බාර ගන්නේදැයි පැනයට පිළිතුරු දෙමින් ඔහු පවසා තිබුනේ ‘නොදන්නා දෙයක් ගැන තමන්ට අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

'දුන්නොත් බාරගන්නවා' :


කෙසේවුවද ජාතික ලැයිස්තු නියෝජිතයකු ලෙස තමාට අමාත්‍ය ධුරයක් භාරගන්නැයි ජනාධිපතිවරයා යෝජනා කළේදැයි ධර්මසිරි බණ්ඩාරනායක මහතාගෙන් 'සත්හඬ' කළ විමසීමක දී හෙතෙම මෙසේ පවසා ඇත.

 “අමාත්‍ය ධුරයක් පිරිනමන බවක් එතුමා කිව්වේ නැහැ. හැබැයි සංස්කෘතික හා කලා ක්ෂේත්‍රයේ දැනට පවතින අඩුපාඩු පිළිබඳ එතුමා එක්ක මම සාකච්ඡා කළා. ඒ වෙලාවේ කිව්වා ධර්මේ ප්‍රශ්න තියෙනවනම් කලාකරුවන් එක්ක සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්න නිරාකරණය කරගන්න මැදිහත් වෙන්න කියලා.

දැනට නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයේ පවතින ගැටලුත් සංස්කෘතික ක්ෂේත්‍රයේ පවතින ගැටලුත් මම එතුමා එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මේක මගේ විෂයනේ. ඉතින් එතුමා කිව්වේ මේ වැඩේට මැදිහත් වෙන්න කියලා.

කොහොම වුණත් මගේ ක්ෂේත්‍රයේ වැඩක් කරන්න අවස්ථාව ලැබෙනව නම් මම ඒක භාරගන්නවා. ජනාධිපතිතුමා මා එක්ක මේ ගැන සාකච්ඡා කළේ එක්සත් ජාතීන්ගේ සමුළුවට යන වෙලාවේ. මමත් ඒ ගමනට නියෝජිතයෙක් විදිහට සහභාගි වුණා. කොහොම වුණත් එවැනි තනතුරක් ලැබුණොත් භාරගන්නවා. වැඩෙත් කරනවා” යයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.


අදාල පුවත් වාර්තාව :

ධර්මසිරි බණ්ඩාරනායකට ඇමැතිකමක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top