Dec 18, 2016

ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමට අධිකරණ තීන්දුත් සුම්මලු ! Featured

ගුවන් තොටුපොල පරිශ්‍රයේ පිහිටි විදේශිකයන්ට සේවා හා පහසුකම් සැලසීමේ කවුන්ටර වැඩිම ලංසුව ඉදිරිපත් කර ඇති සමාගම් වෙත ලබාදෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කර මසකට ආසන්න කාලයක් ගතවී ඇතත් එය තවමත් ක්‍රියාත්මක වී නැතැයි ගුවන් තොටුපල අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ වාණිජ හා දේපොල අංශය මෙසේ අදාළ කාරණාව මඟහරිමින් සිටින බව පැවසේ.

ගුවන් තොටුපොල හා ගුවන් සේවා අධිකාරියේ වාණිජ හා දේපල අංශය වෙත මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඉකුත් නොවැම්බර් 24 වැනිදාය.

සියලූ පාර්ශවයන්ගේ එකඟතාවය මත අභියාචනාධිකරණ විනිසුරු විජිත මළල්ගොඩ හා එස්. තුරෙයිරාජා යන මහත්වරුන් විසින් මෙම නියෝගය නිකුත් තිබිණි.

ටෙන්ඩර් ලබාදීමේ ප්‍රමාදය හේතුවෙන් රුපියල් ලක්ෂ 600 කට ආසන්න පාඩුවක් ගුවන් සේවා සමාගම දරන බවට පෙත්සම්කරුවන් එහිදී පෙන්වා දී ඇත.

මෙම නඩුවේ තීන්දුව ලබා දෙන අවස්ථාවේ නඩුවට සම්බන්ධවීමට එක් පාර්ශවයක් අවස්ථාව ඉල්ලා සිට ඇති අතර තීන්දුව ලබා දෙන අවස්ථාවේ අලුත් අයෙකුට පාර්ශව කරුවෙකු ලෙස ඉදිරිපත් විය නොහැකි බව එම ඉල්ලීම විනිසුරුවන් ප්‍රතික්ෂේප කර තිබේ.

තීන්දුවෙන් දින කිහිපයකට පසුව එම පාර්ශවය නඩුවක් පවරා ඇති බව වාර්තාවන අතර අදාළ නඩුව මෙතෙක් විභාගයට ගෙන නොමැති බවද මේ අතර වාර්තා වේ.

මෙසේ නඩු පවරා ඇති අය ද අදාළ නඩු තීන්දුව නොසලකමින් ගුවන් සේවා සමාගම කල් දිගු කරමින් පවත්වාගෙන යන සංචාරක කවුළුවක් ලබා ගෙන සිටින අයෙකු බව පැවසේ.

ගුවන් තොටුපොල පරිශ්‍රයේ තුළ මෙරටට පැමිණෙන විදේශිකයන්ට සේවා හා පහසුකම් සැලසීම සඳහා සංචාරක සේවා කවුන්ටර 06 ක් පවත්වාගෙන යති.

මෙම සංචාරක සේවා කවුන්ටර පවත්වාගෙන යන්නේ වාර්ෂිකව ටෙන්ඩර් කැදවා ලබා දෙන බදුගිවිසුම මතය.

වසර 2015 දී බදු ගිවිසුම 2016 - 02 – 16 දින අවසන් වීම නිසා ඒ සඳහා ටෙන්ඩර් කැදවා උපරිම ලංසුවට ලබාදීමට 2015 – 12 – 30 දින ලංසු විවෘත විය.

ඒ අනුව වැඩිම ලංසු ඉදිරිපත් කළ පිළිවෙලට එම කවුළු ලබා දෙන ලෙස ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් නිහාල් සෝමසිරි මහතාගේ අත්සනින් යුතුව 2016 – 04 – 28 දින ලිපියක් මගින් ගුවන් තොටුපාල හා ගුවන් සේවා (ශ්‍රීලංකා) සමාගමේ සභාපතිවරයා වෙත දැනුම් දී ඇති බවද වාර්තා වේ.

එම ලැයිස්තුවට අනුව අංක 1 කවුළුව ගුවන්තොටුපොල සංචාරක රියදුරු සංගමයටද, අංක 2 කවුළුව අබාන්ස් ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් සමාගමටද, අංක 3 කවුළුව ආයුබෝවන් ටුවර්ස් ඇන්ඩ ට්‍රැවල්ස් සමාගමටද, අංක 4 කවුළුව ලංකා ට්‍රැවල් ඒජන්ට්ස් ඇසෝෂියෙන් සමාගමටද, අංක 5 කවුළුව කාසන්ස් ට්‍රැවල් සමාගමද, කවුළු අංක 6 ජේ.එන්.ඩබ්ලිවු. ලංකා ටුවර්ස් සමාගමට ද ලබා දෙන ලෙස දැනුම් දී ඇතැයිද අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top