nsb

Dec 19, 2016

රවීගේ 5000 නෝට්‌ටු කතාව ගැන පරීක්‍ෂණයක්‌ ඉල්ලයි Featured

ජනාධිපතිවරණයට දින දෙකකට පෙර මහ බැංකුවෙන් රු. කෝටි 1300 ක්‌ හොර රහසේ පිටකර ඇති බවට මුදල් ඇමැතිවරයා කර ඇති ප්‍රකාශය ඉතා බරපතළ එකක්‌ බැවින් මුදල් නෝට්‌ටු පිළිබඳ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා මුදල් ඇමැතිවරයාගේ එම ප්‍රකාශය ගැන මහ බැංකුවෙන් සහ රහස්‌ පොලිසියෙන් සතියක්‌ ඇතුළත වාර්තාවක්‌ ලබාගන්නා ලෙස ඒකාබද්ධ විපක්‍ෂය ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (18 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම ඉල්ලීම කළේය.

එසේ සතියක්‌ ඇතුළත වාර්තාවක්‌ ලබාගෙන මුදල් ඇමැතිවරයා කරන චෝදනාවේ ඇත්ත නැත්ත මහජනතාවට තහවුරු නොකළොත් රු. 5000 නෝට්‌ටු භාවිතය සම්බන්ධයෙන් මහජනතාව තුළ බරපතළ අවිශ්වාසයක්‌ ඇතිවන බව ද ඒ නිසා මේ රටේ මුදල් ක්‍රමය පිළිබඳ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා මේ ගැන වහාම පරීක්‍ෂණයක්‌ කිරීම අත්‍යවශ්‍ය බව ද බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

රු. 5000 නෝට්‌ටු හොරට පිටවී තිබේද යන්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශයෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පරීක්‍ෂණ කර සොයාගත හැකි බවත් එවැන්නක්‌ සිදුව ඇත්නම් ඊට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.

ලොරි හතක්‌වත් යොදවා ගන්න ඕන !
රු. කෝටි 1300 ක මුදලක්‌ හොරට මහ බැංකුවෙන් පිටවී ඇත්නම් ඒක විශාල මූල්‍ය අපරාධයක්‌. ජනාධිපතිවරණයට දින දෙකකට පෙර මේ මුදල් පිටවී ඇති බවයි මුදල් ඇමැති කියන්නේ. එසේ නම් මෙතරම් කලක්‌ මේ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නේ මන්දැයි ප්‍රශ්න කල බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා, තවදුරටත් මෙසේද  කීවේය.

''මහ බැංකුව මුදල් නිකුත් කරන විට ඒ පිළිබඳ සටහන් තබා ගන්නවා. විශාල ට්‍රන්ක පෙට්‌ටිවල අසුරල ලොරිවල තමයි මහ බැංකුව මුදල් ප්‍රවාහනය කරන්නේ. මේ කියන රු. කෝටි 1300 ක මුදල මහ බැංකුවෙන් හොරෙන් පිටකරවාගෙන යන්න ලොරි හතක්‌වත් යොදවා ගන්න ඕන. 

එසේ නම් ලොරි රථවල රියෑදුරන්, ලොරි සහායකයන් මේ මුදල් ට්‍රන්ක පෙට්‌ටි පටවන්නන් සහ මහ බැංකුවේ ඊට සම්බන්ධ නිලධාරීන් ඇතුළු අතිවිශාල පිරිසක්‌ මේකට සම්බන්ධයි. එනම් මහ බැංකුවේ මුදල් සුරක්‍ෂිතාගාරවල අයත් මේකට සම්බන්ධයි. ඒ නිසා මේක සුළුපටු ප්‍රශ්නයක්‌ නෙවෙයි.''

වහාම පරීක්‍ෂණ පවත්වා ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඒකාබද්ධ විපක්‍ෂය ලෙස තවදුරටත් ඉල්ලා සිටින බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.

සබැඳි පුවත් :
රුපියල් 5000 නෝට්ටු අවලංගු කිරීමේ සුදානමක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top