nsb

Dec 20, 2016

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් - ජනමාධ්‍ය ලේකම්

2017 ජනවාරි 26ට පෙර ජනාධිපතිවරයා මිය යන බවට පළවූ අනාවැකිය පිටුපස ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව බැලූ බැල්මට තහවුරු වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නීතිඥ නිමල් ‍බෝපගේ මහතා පවසයි.

එබැවින් ජනාධිපතිවරයාට තර්ජනයක් ඇති බව තමන් පිළිගන්නා බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන මෙන් තමන් විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කරමින් ඉල්ලා සිටි බව අද (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී බෝප‍ගේ මහතා කියා සිටියේය.

විජිත් රෝහණ විජයමුණි නමැති ජ්‍යේතිර්වේදියෙකු යයි කියා ගන්නා පුද්ගලයෙකු විසින් තමන් මීට පෙරාතුව ප්‍රකාශයට පත් කළ අනාවැකි සියල්ල සත්‍යවී ඇති බවට ඒත්තු ගන්වා ඒ අයුරින්ම ජනාධිපතිවරයා ජනවාරි 26 දිනට පෙර කුමන ආකාරයෙන් හෝ මිය යන බවට කිසියම් "අනාවැකියක්" නිර්මාණය කොට සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධියට පත්කොට ඇති බව ඔහු සඳහන් කළේය.

සිදුවිය හැකි හානිය :

මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ දැනට සමාජ ජාල වෙබ් අඩවියක පමණක් ප්‍රසිද්ධියට පත්වූ අනාවැකිය සම්බන්ධයෙන් ලේකම්වරයාගේ ප්‍රතිචාරය ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වන විට ඊට අදාළ අනාවැකියට යළිත් ප්‍රධාන ධාරාව තුළ පවා ප්‍රසිද්ධියක් ලැබෙන බැවින් එක සුදුසුද යන්නයි.

මෙහිදී ලේකම්වරයා කියා සිටියේ පළමුව සමාජ ජාල හා වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්ති පසුව ප්‍රධාන ධාරාවට එකතුවන බව හා ඒ වනවිටත් සිදුවිය හැකි හානිය සිදුව ඇති බැවින් තමන් මේ පිළිබඳ රටට කියන්නට කල්පනා කළ බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළින් අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීමෙන් පසු ආචාර ධර්ම කඩ කළ බවට නිමල් බෝපගේ මහතාගෙන්ම නිදහසට කරුණු විමසා ලිපි ලැබෙනු ඇත්දැයි යළිත් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කරන ලදී.

ඊට ප්‍රතිචාර ලෙස අමාත්‍යංශ ලේකම්වරයා සිනාසුනා මිස කිසිත් නොකීවේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top