Dec 21, 2016

සුපිරි ඇමති’ පනත : 'වරදක් නැහැ, එත් කල්දම්මා' - එස්.බි. Featured

විශේෂ විධිවිධාන පනත ඔස්සේ සුපිරි බලතල සහිත ඇමැතිධූරයක් ඇති කිරීම සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට බඳුන් වුවත් එහි වරදක් නොදකින බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ඇමැතිවරයා එසේ පැවසුවේ අද (21) බොරැල්ල වනාතමුල්ල සහස්‍රපුර දී ආරම්භ වූ “ සමෘද්ධි පොළ” විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

විශේෂ විධි විධාන පනත හරහා ජනාධිපතිවරයාගේ බලතල ඇමැතිවරයෙක් ‍යටතට ගෙන ඒමේ සූදානමක් නැතැයි කී ඇමැතිවරයා, කෙසේ වුවත් විශේෂ විධිවිධාන පනත පිළිබඳව යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත නොකළ බවද සඳහන් කළේය.

මාධ්‍යවේදීන් හමුවේ ඇමැතිවරයා මෙසේද පැවසිය.

'අපි කැමැති නැහැ කියන එකනේ' !

“විශේෂ විධිවිධාන පනත හරහා ජනාධිපතිවරයාගේ බලතල ඇමැතිවරයෙකුට දෙන්න හදනවා කියලා එහෙම යෝජනාවක් නැහැ. ඒත් සංවර්ධන ව්‍යාපෘති ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මත, යම් යම් දෙපාර්තමේන්තු, ආයතන හරහා කෙරෙන වැඩ සුමානයක්, දෙකක් ඇතුලත ඉක්මනින් කරවගන්න පුළුවන් වෙන විදිහේ ආයතනයක් හදලා ඒක ආමාත්‍යවරයෙකු යටතට පත් කිරීමේ යෝජනාවක් ඇවිත් තිබුනා.

ඒ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරේ නැහැ. මොකද මේ ගැන පලාත් සභා සමඟ කථා කළ යුතුයි. පලාත් සභා බලතල ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට බලපානවා, ඒ වගේ සුපිරි ඇමැතිධූරයක් හදන්න ගියොත්.

ඒක අනුමත නොවුනා කියන්නේ අපි කැමැති නැහැ කියන එකනේ. ඒක අපි කල් තිබ්බා. නැවත ඒ ගැන සාකච්ඡාවට බඳුන් වුනත් එහි වරදක් නැහැ.

“වන් ස්ටොප් ෂොප් ”

විදේශ ආයෝජකයන් ආවහම අවශ්‍ය අවසර පත්‍ර‍ ගන්න ඔවුන්ට අවුරුද්දක් විතර යනවා. ඒ වගේම සමහර අයට පගාවත් දෙන්න වෙනවා. එවැනි තත්වයක් තුළ ආයෝජකයො ගෙන්වා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා.

චීනයේ මේ තත්වය මග හරින්න “වන් ස්ටොප් ෂොප් ” (One Stop shop) කියලා ආයතනයක් හැදුවා. ඒ ආයතනයට ගියාම සියළුම අවසර සුමානයක් ඇතුලත දෙනවා. ඊට පස්සේ එයා ව්‍යාපාරේ පටන් ගන්නවා. ඒ නිසා ආයෝජකයන්ට වෙන එවැනි අතිප්‍ර‍මාදයන් වලක්වා ගත යුතුයි.

පරිසර වාර්තා, නාගරික සංවර්ධන අධිකාරියෙන් ගත යුතු වාර්තා වගේ නොයෙකුත් වාර්තා ගන්න ගියාම තියෙන ප්‍ර‍මාදයන් වැළැක්විය යුතුයි. ඒ පිළිබඳ යෝජනාවක් තමයි ඒ යෝජනාවෙන් ආවේ. නමුත් අපි ඒක පැත්තකට තිබ්බා.”

 

malik 670Px


‘සුපිරි ඇමති’ පනත පාර්ලිමේන්තුවට


මේ අතර, අද (21) පැවැත්වුණ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා, සුපිරි ඇමතිවරයෙකු ඇති කරන බවට කතාබහට ලක්වන සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත එළඹෙන පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අවධාරණය කර සිටියේය.

රට තුළකඩිනම් සංවර්ධනයක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගෙන එන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ (20 දා) පැවැති උත්සවයකදී පැවැසීය.

රජයට පළාත් සභාවල බලය අවශ්‍ය නැති බවත් එම සභාවල සහාය ලබාගෙන මෙම පනත ක්‍රියාත්මක කරන බවත් පැවසූ අගමැතිවරයා එමගින් රට වේගවත් සංවර්ධනයක්‌ කරා පිය නඟනු ඇතැයිද වැඩිදුරටත් කීය.

යහපාලන රජයේ පළමු වසර රට තුළ දේශපාලන ස්‌ථාවරයක්‌ ඇති කිරීමටත්, දෙවැනි වසර රටේ ණය බර පාලනය කිරීමටත් ගතවූ අතර ඉදිරි වසර කිහිපය රට සංවර්ධනය කරා ගෙන යැමට පියවර ගන්නා බව ද අගමැතිවරයා එහිදී පැවසීය.


සබැඳි පුවත් :


'කඩිනම් සංවර්ධනයට විශේෂ විධිවිධාන ගෙනාවා' - අගමැති

සුපිරි ඇමතිධුරය : 'වජිරගේ මතයට විරුද්ධයි' - චන්දිම

'ඩිලාන්ලා විරුද්ධ වුනාට සුපිරි බලතල ගෙනාවා' - වජිර 


'සිග්නල් එක ලැබුණු ගමන් අපි ආණ්ඩුවෙන් බහිනවා' (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top