Dec 22, 2016

'කෝප් සභාපතිගේ ලියුමෙන් වැරදි මතයක්'

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් කථානායකවරයා වෙත යොමුකරන ලද ලිපියෙන් සාවද්‍ය මතයක් සමාජගත වනු ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ඒ පිළිබඳ දක්වමින් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙපරිදිය.

පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ගරු කතානායකතුමන් වෙත යැවූ ලිපියක් ජනමාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

එමගින් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තාව පිළිබඳ සාවද්‍ය මතයක් ජනගත කිරීමට උත්සාහ දරා ඇති බැවින්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ යුතුය.

මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාළ වාර්තාව 2016 ඔක්තෝබර 28 වන දා පාර්ලිමේන්තුවේ සභාගත කෙරිණි.

ඊට කෝප් කමිටු සාමාජිකයන් සියල්ලගේම ඒකමතික නිර්දේශයන් අඩංගු විණි.

එම වාර්තාව පිළිගන්නා බව එදින මහබැංකුව අයත් අමාත්‍යංශයේ විෂය භාර අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

මහබැංකු නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් හා බැඳුම්කර වෙන්දේසිය පිළිබඳව නිරීක්ෂණයන්, නිගමනයන් හා නිර්දේශයන් එහි අඩංගුව තිබූ හෙයින්, ඒ පිළිබඳව සිය මතය දක්වන මෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා නොවැම්බර 02 වන දා නීතිපති වෙත දන්වා යැවීය.

වාර්තාව නීතිපති වෙත යොමු කරන බව අගමැතිවරයා විසින් කතානායකතුමන් වෙත වාචිකව දන්වන ලදී.

එසේම නීතිපතිවරයා විසින් ඉල්ලා සිටි වෙනත් වාර්තා සහ අදාළ ලිපි ලේඛන ද, කතානායකතුමන්ගේ අවසරය මත නීතිපති වෙත යොමු කරන ලෙස විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ මහලේකම් වරයාට නොවැම්බර 09 වන දා දන්වා සිටියේය.

මේ කටයුතු පිළිබඳව අවස්ථා කීපයකදීම අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළේය.

නොවැම්බර් 21 වන දා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවැත්වෙන අවස්ථාවේදී ද විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා මේ තොරතුරු පාර්ලිමේන්තුව හමුවේ හෙළි කළේය.

එපමණක් නොව කෝප් කමිටු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට ද එකඟත්වය පළ කළේය.
ඒ අවස්ථාවන්හි, අගමැතිවරයා විසින් කතානායක බලතල භාවිත කළ බවට කිසිදු අදහසක් ප්‍රකාශ නොකළ හඳුන්නෙත්ති මහතා දැන් එවැනි තර්කයක් ගොඩ නැංවීමට තැත් දරයි.

විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් කමිටු වාර්තාව නීතිපති වෙත යොමු කිරීම නීත්‍යනුකූල ක්‍රියාවකි.

තමා යටතේ සේවය කරන නිලධාරීන්ට එරෙහිව චෝදනා නැගුණු අවස්ථාවක ඒ පිළිබඳ ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව නීතිපති මතය විමසීම සාමාන්‍ය සම්මතයයි.

එසේ විමසීම නිසා පාර්ලිමේන්තුව විසින් සිදු කරනු ලබන කිසිදු ක්‍රියා මාර්ගයකට බලපෑමක් එල්ල වන්නේ නැත. පාර්ලිමේන්තු ක්‍රියාමාර්ගයන්ට සීමා පැනවීමක් සිදු වන්නේ ද නැත. තහංචියක් පැනවෙන්නේ ද නැත.

පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපතිවරයා අගමැතිවරයාට මෙසේ චෝදනා කරන්නේ දෙසැම්බර 08 වන දා ඔහුගේම කමිටුවේ ලේකම්වරිය විසින් ද කෝප් කමිටු වාර්තාව නීතිපති වෙත යොමු කර ඇති පසුබිමකය.''


සබැඳි පුවත්

හඳුන්නෙත්තිගෙන් කථානායකට ලියුමක්

අදාළ නිවේදනය

Press Release December 22 2016 1

Press Release December 22 2016 2

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top