Dec 22, 2016

'රණවිරුවන්' වෙනුවෙන් පෙනී සිටිනවා' - ජනපති Featured

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ජාතික ආරක්ෂාවට කිසිඳු හානියක් සිදු නොවන බවත්, රටේ ජනාධිපතිවරයා ලෙස මෙන්ම සේනාධිනායකයා ලෙස තමා සෑම අවස්ථාවකම 'රණවිරුවන්' වෙනුවෙන් පෙනී සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හමුදා සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් රජය නිරන්තරයෙන්ම කැපවී සිටින අතර ඔවුන්ට අවශ්‍ය සියලූ පහසුකම් නොඅඩුව ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියි.

රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 'ජාතික රණවිරු එකමුතුව' සාමාජිකයින් පිරිසක් ඊයේ (21) ජනාධිපති කාර්යාලයේ දී හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා එබව අවධාරණය කර සිටියේය.

ආරක්ෂක හමුදා සාමාජිකයින් මුහුණපාන විවිධ ගැටලූ මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර එම සියලූ ගැටලූ ජනාධිපතිගේ විශේෂ අවධානයට ලක් විය.

දැඩි විශ්වාසයක් :

වසර 12 කට අඩු සේවා කාලයක් සහිත ආබාධිත හමුදා සාමාජිකයින්ට සේවා විශ්‍රාම වැටුප ලබාදීමට කටයුතු කිරීම, වසර 22 ක සේවා කාලය අවසන් කර විශ්‍රාම යන හමුදා සාමාජිකයින්ට නැවත රාජ්‍ය සේවයට එක්වීමට අවස්ථාව සලසාදීම ඇතුළු හමුදා සාමාජිකයින් වෙනුවෙන් වත්මන් රජය පසුගිය වසර දෙක තුළ ඉටු කළ කාර්යභාරය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, හමුදා සාමාජිකයින් වෙනුවෙන් ඉදිරියට ද රජයේ වගකීම් නොපිරිහෙලා ඉටු කරන බව කියා සිටියේය.

රටේ විවිධ රණවිරු සංගම්වල නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර ඔවුන් මෙහිදී ප්‍රකාශ කළේ රටේ ජනාධිපතිවරයා හමුවීමට තමන්ට මෙවන් අවස්ථාවක් හිමි වූයේ ප්‍රථම වරට බවයි.

ඒ පිලිබඳ ජනාධිපති වෙත සිය කෘතඥතාවය පළ කළ හමුදා සාමාජිකයින්, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිබඳ තමන් දැඩි විශ්වාසයක් තබා ඇති බව ද සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top