nsb

Dec 23, 2016

'සියදිවි නසා ගැනීමේ අදහසක්‌ නැහැ' - වියන්ගොඩ

පුරවැසි බලය කැඳවුම්කරු මණ්‌ඩලයේ කිසිවකු රජයේ කිසිඳු තනතුරක් බාර නොගන්නා බව අවධාරණය කර සිටින එම සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා, ''සියදිවි නසා ගැනීමේ අදහසක්‌ අප තුළ නැතැයි''  කියා සිටියි.

පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරුවන් තිදෙනකුට ආණ්‌ඩුවේ ජාතික ලැයිස්‌තු මන්ත්‍රීකම් ලැබීමට යන බවට ඉඟි කරමින්  පසුගිය සති අන්තයේ 'සත්හඬ' පුවත්පතේ පලවී තිබු වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කලේ  ඊයේ (22 වැනිදා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ගාමිණී වියන්ගොඩ මහතා එහිදී මෙසේද පැවසිය.

''එක්‌තරා මාධ්‍යයක පළ වෙලා තිබුණා පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරුවන් තිදෙනකු ආණ්‌ඩුවේ ජාතික ලැයිස්‌තු මන්ත්‍රීකම් ලැබෙන්න යනවා කියලා. ධර්මසිරි බණ්‌ඩාරනායක මහතාට ඇමැතිකමක්‌ ලැබෙන්න යනවා කියලාත් තිබුණා. මේ ගැන වෙබ් මාධ්‍යවලත්, සමාජ වෙබ් අඩවිවලත් පළ වී තිබුණා.

පදනම් විරහිත අභූත චෝදනා මඩ ප්‍රචාර එල්ල වෙනවා. මිනිසුන්ගේ අශිෂ්ටත්වය අපට හදන්න බැහැ. මේක පිටුපස තිබෙන දේශපාලන ගැන සොයා බැලිය යුතුයි.

 දේශපාලන ක්‍ෂේත්‍රයේ සම්මත දේශපාලනඥයන්ව අවලංගු වෙමින් තිබෙන කාලයක දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ නැති ස්‌වාධීන අදහස්‌ දක්‌වන සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් කෙරෙහි අද ජනතාව තුළ යම් පැහැදීමක්‌ ඇති වී තිබෙනවා. මොකක්‌ හරි දෙයක්‌ හදලා සිවිල් සමාජ ක්‍රියාකාරීකයන් දුර්වල කිරීමයි මොවුන්ගේ දේශපාලනය.

මෙවැනි කතා ආපස්‌සට ඇදලා ගන්න බැහැ. ජනතාව කියනවා සිවිල් සමාජ හදා ගත්තේ ඕකටයි කියලා.

අපි පැහැදිලිවම කියනවා පුරවැසි බලය කැඳවුම්කරු මණ්‌ඩලයේ අපි මොනවා ලැබුණත් භාර ගන්නේ නැහැ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පදවියකින් හෝ ඇමැති පදවියකට වඩා තීරණාත්මක කාර්යභාරයක්‌ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය තුළින් කරන්න පුළුවන්. සියදිවි නසා ගැනීමේ අදහසක්‌ අප තුළ නැහැ. ''

සබැඳි පුවත්

සිවිල් නායකයින් දියකර හැරීමේ සුදානමක් !

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top