Dec 23, 2016

ලබන වසරේ දේශපාලන අභියෝගය (වීඩියෝ) Featured

ලබන වසරේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඇති කර ගැනීමේදී විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවන බවත්, 2015 දී ජයග්‍රහණය කිරීමට නොහැකිව තිබූ මහා කඩඉම ජයග්‍රහණය කළා සේම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවත් ජයග්‍රහණය කිරීමට සියලුම දෙනා අධිෂ්ඨාන කරගත යුතු යෑයි 'පුරවැසි බලය' සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය.

ඊයේ (22 වැනිදා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ගාමිණී වියන්ගොඩ මහතා එබව සඳහන් කළේය.


අපිට නැවත යුද්ධයකට මුහුණ දෙන්න අවශ්‍ය නැති බවද, ඒ සඳහා ජාතික සංහිඳියා සැලැස්‌ම ව්‍යවස්‌ථාවෙන්ම සකස්‌ කරගත යුතු බව ද ඔහු එහිදී කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වියන්ගොඩ මහතා මෙසේද සඳහන් කළේය.


''අවුරුදු දෙකක්‌ යහපාලන ආණ්‌ඩුවට ගතවෙමින් යනවා. ප්‍රගති සමාලෝචන අපි කිහිප සැරයක්‌ම කරලා තිබෙනවා. ආණ්‌ඩුව කරලා තිබෙන සාධනීය දේවල් අපි කියලා තිබෙනවා.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අපි කර ගත්තා. තොරතුරු දැන ගැනීමේ අයිතිය ගෙනැත් තිබෙනවා. විධායක බලතල සැලකිය යුතු මට්‌ටමකින් අඩු කරගෙන තිබෙනවා. ස්‌වාධීන කොමිෂන් සභා පත් කර තිබෙනවා.

පසුගිය රජයේත් ඒවා තිබුණත් ක්‍රියාත්මක වුණේ නැහැ. අපි කියන්නේ නැහැ මේවා සර්වප්‍රකාරයෙන් සම්පූර්ණයි කියලා. ඒවාට පත් කරලා තිබෙන පුද්ගලයන් ගැන ප්‍රශ්නයක්‌ තිබෙනවා.


යම් යම් කළු පැල්ලම් :


නමුත් යම් ප්‍රගතියක්‌ ඇති කර ගැනීමට සමත් වුණා. මාධ්‍යයට, කතා කිරීමේ නිදහස ඇති වී තිබුණත් යම් යම් කළු පැල්ලම් සිදුවුණා. අපිට තව හදා ගත යුතු දේවල් තිබෙනවා.

ජනාධිපතිවරයාව අනපේක්‍ෂිත ලෙස බලයට පත් කළ ජනතාවට විශාල විශ්වාසයක්‌ තිබුණා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳව.

ඉදිරියේදී තිබෙන බරපතල කාරණාව නව ව්‍යවස්‌ථාවයි.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යයි. ජාතික සංහිඳියාවට විසඳුමක්‌ සෙවීමේ මාර්ගයක්‌ ලෙසටත් අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යොදා ගන්න පුළුවන්.

රටේ සමස්‌ත ජනතාවගේ එකඟත්වය තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා. ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුවකට කවුරුත් එකඟයි.

 
බලය බෙදන විට බිල්ලො එනවා :


 ජාතික සංහිඳියාවට අවශ්‍ය බලය බෙදීමේ කාරණාවට ඇතැම් කොටස්‌වල විවිධ මතිමතාන්දර තිබෙනවා. බලය බෙදන විට සියලුම බිල්ලො එන්නවා.

මේ නිසා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඇති කර ගැනීමේදී විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිදුවෙනවා. අභියෝග ජය ගැනීමට අධිෂ්ඨාන කරගත යුතුයි.

ආණ්‌ඩුවෙත්, එළියෙත් පරාජිතවාදීන් ඉන්නවා. ජනමත විචාරණයකට යා යුතු නැහැ කියනවා. දැන්ම කියන්නේ පරාජය භාර ගැනීමයි. එතකොට පරදිනවා තමයි.

2015 දී ජයග්‍රහණය කිරීමට නොහැකිව තිබූ මහා කඩඉම ජයග්‍රහණය කළා. ඒ විදිහටම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවත් ජයගත යුතුව තිබෙනවා.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top