Dec 24, 2016

'සුපිරි ඇමති ධුරයකට විරුද්ධ නෑ' - පුරවැසි බලය

රට සංවර්ධනය කිරීමේ අරමුණෙන් පත් කරන සුපිරි ඇමති ධුර සම්බන්ධයෙන් පුරවැසි බලය විරුද්ධත්වයක් නොදක්වන බව එහි සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

රටට පැමිණෙන ආයෝජන ඉක්මණින් ක්‍රියාත්මක කරවීම මඟින් ආර්ථික සංවර්ධනය මෙරට ජනතාවට ලබාදීම සුපිරි ඇමති ධුර පත් කිරීමේ අරමුණ බව ද ඒ මහතා ප්‍රකාශ කෙළේය.

සුපිරි ඇමැති ධුර සම්බන්ධයෙන් විවිධ කතිකාවන් රට පුරා පවතින බවත් එහි සැබෑ තත්ත්වය දැන ගැනීමට ආණ්ඩුව සමඟ කළ කතාබහෙන් පැහැදිලි වූයේ මේ ඇමැති ධුර ඇති කිරීමේ කිසිදු වරදක් නොමැති බවත් ඒ මහතා පැවැසුවේය.

සංවර්ධනය සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන පනත ගෙන එන්නේ ජාතික සංවර්ධනය සඳහා නම් ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් පුරවැසි බලය නොදක්වන බවත් නමුත් එහි අන්තර්ගතය සොයා බැලිය යුතු බවත් ඔහු අවධාරණය කෙළේය.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැති පුරවැසි බලය මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පෙරේදා (23) ප්‍රකාශ කළේය.

රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් කිරීමට නව නීති:

චීනය වැනි රටවල ආයෝජනයක් සතියකින් දෙකකින් ආරම්භ කළ හැකි අතර අපේ රටේ ආයෝජනයක් ආරම්භ කිරීමට පවතින රාජ්‍ය යාන්ත්‍රණය යටතේ වසර එක හමාරක් පමණ ගත වන්නේ යැයිද හෙතෙම පැවැසීය.

ඒ නිසා පවතින රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් කිරීමට නව නීතිරීති අවශ්‍ය යැයි ද පවතින නීති වෙනස් නොකිරීමෙන් රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යා නොහැකි යැයි ද ඔහු කීය.

රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින දුර්වලතා සහ කොමිස් නිසා මෙරටට පැමිණෙන ආයෝජන නැවත හැරී යාම සිදු වන බවත් පසුගිය සුනාමි කාලයේ මෙරටට පැමිණි ආයෝජනවලට සිදු වූයේ එවැනි දෙයක් බවත් ඔහු ප්‍රකාශ කෙළේය.

ආයෝජනය සඳහා වූ සාකච්ඡා ආරම්භ කිරීමට පමණක් මෙරටට ආයෝජකයින් පැමිණ මාස දෙක තුනක් හෝටල් බුක් කරගෙන සිටිය යුතු බවත් ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමඟ එසේ වීම රටට අවාසිදායක බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට පුරවැසි බලය සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ, විධායක සභිකයන් වන නිශ්ශංක දිද්දෙණිය, මහින්ද රත්නායක, ලූෂන් බුලත්සිංහල මහත්වරුද සහභාගි වූහ.

(දිනමිණ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top