Dec 24, 2016

'හම්බන්තොට 'චීන කොලිනියක්' කරන්නේ නැහැ' -අමරවීර Featured

හම්බන්තොට ආයෝජන කලාපයේ සේවය කිරීම පිණිස චීන ජාතිකයන් දසලක්ෂයකට වීසා බලපත්‍ර ලබාදීමට සැරසෙන බවට ආණ්ඩුවේම හවුල්කරුවන් ඇතුළු ඇතැමුන් එල්ලකරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, හම්බන්තොට 'චීනයේ කොටසක් බවට පත්කිරීමට' කිසිදු අවශ්‍යතාවයක් ආණ්ඩුවට නොමැති බවත් ධීවර සහ ජලජ කටයුතු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ජනතාව දැනට පදිංචිව සිටින ඉඩම් පවරා නොගන්නා බව ද ඇමතිවරයා අවධාරණය කර සිටියි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඒ බව කියා සිටියේ ඉඩම් පවරාගැනීමේ සැලසුම්වලට එරෙහිව හම්බන්තොට ජනතාව දිගින් දිගටම දියත් කරමින් සිටින උද්ඝෝෂණ පිළිබඳව 'බීබීසී සංදේශය' ආණ්ඩුවේ ප්‍රතිචාරය විමසූ අවස්ථාවේදීය.

"අපි තීන්දු කරලා තියෙන්නේ හිස්ව තියෙන මුඩු ඉඩම්වල මේ කර්මාන්ත පුරය හදන්න කියල. ඒ වගේම අක්කර 15,000 ක් කිසිසේත්ම හම්බන්තොටින් දෙන්නේ නැහැ," අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී පැවසීය.

හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රදේශයේ ජනතාව සතු පාරම්පරික ඉඩම් පවරා නොගන්නා බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද පසුගියදා අවධාරණය කර තිබුණි.

ජනතාව කුපිතකරමින් :

කෙසේවුවද ආණ්ඩුව නියෝජනය කරන ජාතික හෙළ උරුමය පවසන්නේ, හම්බන්තොට වරාය මිලට ගන්නා ලද චීනයේ චයිනා මර්චරන්ට් සමාගම විසින් මේ වන විටත් චීන ජාතිකයින් දශ ලක්‍ෂයකට මෙරටට ඇතුළුවීම සදහා චීන රජය මගින් වීසා ඉල්ලූම් කර ඇති බවයි.

ඒ අතර හම්බන්තොට පැවති විරෝධතාවයකට එක් වූ ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු කේඩී ලාල් කාන්ත මහතා, කර්මාන්ත මුවාවෙන් ලෝක බලවතුන් 'ශ්‍රී ලංකාව ගිලගැනීමට' සැරසෙන බවට චෝදනා කළේය.

"නැත්නම් අක්කර 15000 ක් ඕන වෙන්නේ නෑ," ලාල් කාන්ත පැවසීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා, ඇතැම් කණ්ඩායම් දේශපාලන වාසි ලබාගැනීම පිණිස 'ජනතාව කුපිතකරමින් සිටින' බව කියා සිටියේය.

සබැඳි පුවත් :

චීන්නු දස ලක්‍ෂයක් ලංකාවට එන්න වීසා ඉල්ලයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top