nsb

Dec 24, 2016

'ආණ්ඩුවෙන් ඉවත්වී, ශ්‍රීලනිපය එක්සත් කරමු' - ඩලස් Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට යා යුතු බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

පසුගිය මහ මැතිවරණයේ දී බහුතර ආසන සංඛ්‍යාවක් ලබා වැඩි බලයක් හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂයට තනිව ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දී ශක්තිමත් විපක්ෂයක් ලෙස ශ්‍රීලනිපය විපක්ෂයේ කාර්යභාරය අතට ගත යුතු බව ඔහු අවධාරණය කරයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාපය සමඟ වන සම්මුතික ආණ්ඩුවෙන් ඉවත් වී තනිව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට තීරණය කරන්නේ නම් ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ සහාය දෙන බවට එම කණ්ඩායමේ ඇතැම් මන්ත්‍රීවරු විසින් සිදු කරනු ලබන ප්‍රකාශ සහ මේ වෙනුවෙන් පසුගිය දා ඩලස් අලහප්පෙරුම මහතා, මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කළ බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

තමා ජනාධිපතිවරයාව හමුවූ බවට පළ වන වාර්තා අසත්‍ය නමුත් ශ්‍රීලනිපය විපක්ෂයට යා යුතු බව ජනාධිපතිවරයාට යෝජනා කරන බව ඔහු මෙහිදී පැවසීය.

ශ්‍රීලනිපය දෙකඩ වීමේ අවදානමක :

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණවල දී ශ්‍රීලනිපය දෙකඩ වීමේ අවදානමක පවතින බවත් එවැනි තත්වයක් එජාපයට පහසු ජයග්‍රහණයක් අත්පත් කර දීමක් බවත් ඔහු පැවසීය.

“හවුල් ආණ්ඩුවක සිටීමෙන් ශ්‍රීලනිපයට සෙතක් වෙන් නෑ. අද අවශ්‍ය ප්‍රබල විපක්ෂයක්. ශ්‍රීලනිපය වෙන්ම ආණ්ඩු හැදීම විය යුතු නෑ. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බහුතර බලය ලැබුණු එජාපයට ඒ අවස්ථාව දිය යුතුයි. අපි බලය බලෙන් ගන්නට යෑම වැරැදියි. එහෙම වුණොත් ඒක ජනාධිපතිවරයාත් අපහසුවට පත් කිරීමක්. ජනාධිපතිවරයාගේ ශක්තිය ශ්‍රීලනිපයට තිබෙන නිසා ප්‍රධාන විපක්ෂය ලෙස ශ්‍රීලනිපයට වැදගත් කාර්යභාරයක් සිදු කළ හැකියි.

ජාතික ආරක්ෂාව, ආර්ථිකය මර්මස්ථාන වල ආරක්ෂාව සම්බන්ධයෙන් සහ ශ්‍රීලනිපයේ සමගිය වෙනුවෙන් ගත යුතු හොඳම පියවර විපක්ෂයට යාමයි. තනතුර, වරප්‍රසාද වෙනුවෙන් ආණ්ඩුවේ සිරව සිටීමෙන් පක්ෂය විනාශ වෙනවා.” යනුවෙන් ද ඔහු පැවසීය.

කෙසේ නමුත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනැඟීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් ජනාධිපතිවරයාට සහාය දීමට පොරොන්දු වී ඇති බවය.

එහෙත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන නොමැති බවත් දැන ගැනීමට තිබේ.

(සත්හඬ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top