Dec 25, 2016

නව ව්‍යවස්ථාව පිළිබඳව මෛත්‍රී ඓතිහාසික තීන්දුවක Featured

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් හඳුන්වා දෙනු ලැබූ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනමතය විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අනුව ලබන වසරේ දී ජනමත විචාරණයක් පැවැත්වෙන බවට විශේෂ ප්‍රකාශයක්  ඔහු විසින් නුදුරේම සිදු කිරීමට නියමිත බවත් දැන ගැනීමට ඇත.

බලය බෙදාහැරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම ප්‍රමුඛව මානව අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව කටයුතු කරමින් සිටී.

විෂය 6 ක් සම්බන්ධයෙන් අතුරු කමිටු වාර්තා 6 ක් ද පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.


 කෙසේ නමුත් මෙම නව යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ හා ඇතැම් එජාප ජ්‍යේෂ්ඨයන්ගේ සහ විපක්ෂ කොටස්වල විරෝධය පළ වී ඇත.

එහෙත්  ජනතාවට සහ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් ලබා දුන් පොරොන්දුව ඉටු කිරීම මෙම පාලන කාලය තුළ දී සිදු විය යුතු බවට දැඩි තීන්දුවක ජනාධිපතිවරයා පසුවේ.


ජනමත විචාරණය දිනන්න පුළුවන් :


MangalaSamaraweera 670px 23 11 16මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රචාරක මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරන විදේශ ඇමැති මංගල සමරවීර මහතාගෙන් කළ විමසීමක දී ඔහු පවසා සිටියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කවර බාධා එල්ල වුවත් මෙම දේශපාලන තීන්දුව ගැනීමට කිසිසේත්ම පැකිළෙන්නේ නැති බවට විශ්වාස බවය.

රාජපක්ෂ රෙජීමය පරාජය කිරීම සඳහා ජීවිතය පරදුවට තබා ඓතිහාසික තීන්දුවක් ගත් ඔහු මෙම අභියෝගය ද ජය ගනු ඇතැයි ද ඔහු පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ සමරවීර මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.


අපේ කාලයේ මැන්ඩෙලා :mandela


“අපිට ජනාධිපතිවරයාගේ ශක්තියෙන් මෙම ජනමත විචාරණය දිනන්න පුළුවන්. අද ඔහු තමයි උතුරෙත් දකුණෙත් ජනතාවගේ ජනප්‍රියතම නායකයා. කවුරු මොනව කිව්වත් රටට සාධාරණයක් කිරීමේ සටනේ ජනාධිපතිවරයා ඉන්නවා.

අද ලෝක නායකයන් ජනාධිපතිතුමාව සලකන්නෙ නෙල්සන් මැන්ඩෙලාට පසුව බිහි වූ  ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නායකයා ලෙසයි.

අපිට දැඩි විශ්වාසයක් තියෙනවා ජනවාරි 08 වන දා පෙරළිය වෙනුවෙන් දායක වූ සියලු බලවේග මෙම නව ව්‍යවස්ථාව ගෙන ඒම වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ පෙළ ගැසෙනවා කියලා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම එකතු වෙලා මේක ජයගත යුතුයි.

නව ව්‍යවස්ථාව ජයග්‍රහණය කිරීම මඟින් අන් සියලු ප්‍රශ්න පහසුවෙන් විසඳා ගැනීමේ හැකියාව තියෙනවා.

කොහොමත් අනෙක් මැතිවරණවල දි අපිට බෙදී වෙන් වී තරග කරන්න වෙයි. ඒත් මේකෙ දී අපිට එකතු වෙලා ඉහළින්ම බහුතර ජනතාවගේ කැමැත්තෙන් මේක ජයගැනීම කරන්න පුළුවන්.

ජනාධිපතිතුමාගේ මතය වෙන්නේ මේ ලැබුණු ජන වරමෙන් මෙම නව ව්‍යවස්ථාව ගෙනල්ල රට වඩා ප්‍රජාතාන්ත්‍රික කිරීමට නොහැකි වුවහොත් යළි ඒ සඳහා අවස්ථාවක් නොලැබෙන බවයි.”

(සත්හඬ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top