15976 BM WEB BANNER 01
Dec 27, 2016

'ලබන වසරේ දරුණු ආහාර හිඟයක්' -එස්.බී.

මේ වසරේ පැවැති දරුණු නියඟය හේතුවෙන් ඉදිරියේ දී ආහාර හිඟයක් ඇති විය හැකි බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ඇමැතිවරයා එසේ පැවසුවේ ඊයේ (25) වලපනේ ලියන්වල දී කුරහන් වගා ව්‍යාපෘතියක් ආරම්භ කරමිනි.

මෙම වසර දරුණු වසරක් බවත්, නියඟය නිසා කුඹුරු වගා කිරීම විශාල වශයෙන් අඩු වූ බවත් පැවසූ ඇමැතිවරයා මේ නිසා කුරහන් වැනි ධාන්‍ය වගා කිරීම ආහාර හිඟයට මෙන්ම ශරීර සෞඛ්‍යයට ඉතා යහපත් බව ද සඳහන් කළේය.

වී වගා කිරීම අඩු වී ඇති නිසා ආහාර හිඟයට මුහුන පෑම සඳහා හාල් ආනයනය කිරීමට සිදුවිය හැකි බව පැවසූ ඇමැති දිසානායක මහතා, මේ වසරේ නියඟය විශාල වශයෙන් වී වගා කරන ඉන්දියාව, මියන්මාරය, ඉන්දුනීසියාව, හා පකිස්ථානය වැනි රට වලටද පැවැති නියඟය බලපෑ ඇති බව ද කීවේය.

ජනාධිපති පොල් ගසයි :

මේ අතර, රජරට ඇතුළුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය නිමා කොට ගොවිතැන් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා වර්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව් බැම්මේදී වැසි පිරිත් දේශනාවක්‌ සහ දිඹුලාගල, සොරිවිල ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවාලයේදී දේව පූජාවක්‌ පෙරේදා (24 දා) පැවැත්විණි.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය සහ ප්‍රදේශයේ ගොවි ජනතාව එක්‌ව සංවිධානය කර තිබූ මෙම ආගමික උත්සව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි විය.

පරාක්‍රම සමුද්‍රය වැව් බැම්මේ පැවැති වැසි පිරිත් දේශනයට සහ පසු දින ඊයේ (25 දා) මහා සංඝයා වහන්සේලා 50 නමක්‌ වෙත හීල් දානය පිළිගැන්වීමේ අවස්‌ථාවට ජනාධිපතිවරයා සහභාගි වූ අතර, 24 වැනි දින පෙරවරු දිඹුලාගල, සොරිවිල ශ්‍රී මුත්තුමාරි අම්මන් දේවාලයේ පැවැති දේව පූජාවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැසි පතා දෙවියන්ට පොල් ගෙඩියක්‌ ගැසිය.

දිඹුලාගල සහ හෙනානිගල ආදිවාසී ජනයා රටට වැසි ලබා දෙන ලෙස ඉල්ලමින් කිරි කොරහ නැටීමේ සංස්‌කෘතික අංගයන්ද මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ඉදිරිපත් කරනු ලැබූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top