Dec 27, 2016

හොරිවිල ලෝක උරුම ලයිස්තුවට : 1දාට වසවිස නැති කිරිබතක් Featured

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හොරිවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හොරිවිල හා උඩකඩවල ගම ලෝක උරුම කෘෂිකාර්මික බිම් ලෙස නම් කිරීමට යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී.

එම ප්‍රදේශය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට හේතුවී ඇත්තේ ලෝකයේ කිසිදු රටක නොමැති එලන්ගා පද්ධතිය, වැව් 12ක ජලය වැවෙන් වැවට සම්බන්ධ වී අරපිරිමැස්ම, ගොවිතැන් රටාව, හෙළ පාරම්පරික වෙදකම, ඉපැරණි සිංහල සංස්කෘතිය තවමත් පැවතීම, දේශීය ආහාර රටාව, දේශීය සටන් කලාව වැනි කරුණු නිසා බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට උප නියෝජිත ආචාර්ය බී.ජී.පී. විජේරත්න මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රෝමයේ ජාතික උරුමයන් පිළිබඳ සංවිධානයේ තාක්ෂණික කමිටුවේ ලේකම් චීන ජාතික මහාචාර්ය මිංග් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මේවන විට එම ප්‍රදේශයේ වෙදකම ආදී දේ සොයා බැලීමට පැමිණ සිටින බවද වාර්තා වේ.

බොහෝවිට පෙබරවාරි මාසයේදී ලෝකයේ ප්‍රථම කෘෂිකාර්මික එලන්ගා පද්ධතිය සහිත ලෝක උරුම බිම්කඩ ලෙස හොරිවිල නම් කිරීමට නියමිත බවද පැවසේ.

පසුගියදා මහාචාර්ය මින්ග් මහතා ඇතුළු පිරිස පසුගියදා හොරිවිල වෙදදුරු ශාන්ත සෙනවිරත්න මහතාගේ නිවසට මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කර ඇති බවද වාර්තා වේ.

පළවැනිදාට වස විස නැති කිරිබතක්

මේ අතර, ජනාධිපති කාර්යාලයේ වස විස නැති රටක් ජාතික වැඩසටහන පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ එළඹෙන 2017 ජනවාරි පළවැනිදාට නිවසේ ඉදවන කිරිබත වසවිස නැති සහලින් පිසිණ ලෙසයි.

එම වැඩසටහන වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වැරදි ආහාර රටා සහ අප විසින් ආහාර ලෙස ගනු ලබන අහිතකර විස කාරක හේතුවෙන් බෝනොවන රෝග රාශියක් සමාජයේ හිස ඔසවා ඇති අතර මෙමගින් වාර්ෂිකව මිය යන ජනයා ඇති විශාල අගයක් ගෙන ඇති බවයි.

මේ වන විට කෘෂිකාර්මික වකුගඩු රෝගයෙන් පමණක් ලක්ෂයක පමණ පිරිසක් පීඩා විඳින අතර ඉන් විසිඅට දහසක් (28000) දෙනා මිය ගොස් ඇති බවද පැවසේ.

එසේම සෑම වසරකදීම පිළිකා රෝගීන් විසිපන්දහසක් (25000)දෙනා ජීවිතක්ෂයට පත්වන අතර පහළොස්දහසක් (15000) දෙනා අලුතෙන් රෝහල්වල ලියාපදිංචි වන බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top