Dec 28, 2016

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වසා දැමීමට යයි Featured

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක සක්‍රිය හමුදා සේවයෙන් විශ්‍රාම ගන්වා එම කාර්යාලය ( OCDC -OFFICE OF THE CHIEF OF DEFENCE STAFF) ලබන වසරේ ජනවාරි 31දා වසා දැමීමට රජයේ අවධානය යොමුව ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

ජනාධිපතිවරයා විසින් එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්කරනු ලැබුවේ 2015 ජුනි 15දාය.

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී විසින් ජනාධිපතිවරයාගේ කැමැත්තට යටත්ව අවුරුදු දෙකක කාලසීමාවක්‌ සඳහා ධුරය දැරිය යුතුය.

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස සේවය කරන නිලධරයකු තවත් වසර දෙකක එක්‌ සේවා කාලයක්‌ සඳහා එවැනිම ආකාරයට නැවත පත්වීමට සුදුස්‌සකු වන්නේය.

ෆොන්සේකා එලවන්න :
යුද්ධයේ නිමාවත් සමග 2009 අංක දරන ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී පනත පාර්ලිමේන්තුව මගින් සම්මත කර ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී කාර්යාලය ස්ථාපිත කරනු ලැබුවේ, එවකට යුධ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා එම ධුරයෙන්  ඉවත්කිරීමේ මුලික අරමුණින් යුතුව ය. 

එම පාර්ලිමේන්තු පනතින් මාණ්‌ඩලික ප්‍රධානියා සතුව එතෙක් නොතිබූ බලතල සහ කාර්යභාරයන් ඇතුළත් කොට,  එය ප්‍රබල තනතුරක්‌ ලෙස හඳුන්වා දෙනු ලැබීය. 

ඒ අනුව, යුධ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා එම තනතුරින් ඉවත්කර ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුරේ පිහිටුවනු ලැබිය.

සන්නද්ධ හමුදා හා ආරක්‍ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය කිරීම ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී කාර්යාලයේ වගකීම විය.

'කතාව ඇත්ත, තීන්දුවක් ගෙන නැහැ' :
කෙසේවුවද තවදුරටත් මෙවැනි කාර්යාලයක් නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවට වූ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත මේවනවිට ඉදිරිපත්ව ඇතිබව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුයේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය අහෝසි කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන නොමැති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top