nsb

Dec 28, 2016

ජනාධිපති සොයුරාට මණ්ඩලයෙන් අභියෝගයක් !

රජය සතු වී තොග කිසිවක් නියමිත පටිපාටියෙන් බැහැරව කිසිවෙකුට හෝ ලබාදී නැතැයි වී අලෙවි මණ්ඩලය පවසයි.

ක්‍රියාකාරී මෝලක් නොමැති කිසිවෙකුට වී ලබා නොදීමට ද රජය තීරණය කර ඇති බව එහි සභාපති එම්. බී. දිසානායක කියා සිටියේය.

කෙසේ වෙතත් ඊයේ (27) පැවැත් වූ මාධ්‍ය හමුවක දී මහා පරිමාණ වී මෝල් හිමියෙකු වන ජනාධිපති සොයුරු ඩඩ්ලි  සිරිසේන මහතා පැවසුවේ, මෝල් හිමියන් නොවන අතරමැදියන්ට ද වී ලබාදී ඇති බවයි.

සහල් මිල වැඩිවීමට එය ද බලපාන බව ඔහු පෙන්වා දුන්නේය.

රජයේ වී තොග පෞද්ගලික හිතවත්කම් මත තැනැත්තන්ට ලබා දී ඇතැයි ද ඩඞ්ලි සිරිසේන මහතා චෝදනාවක් කළේය.

එහෙත් එම චෝදනාව ද ප්‍රතික්ෂේප කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්. බී. දිසානායක මහතා පැවසිය. එසේ කිසිවෙකු හෝ ඇත්නම් නම් වශයෙන් පවසන්නයැයි ද ඔහු අභියෝග කළේය.

වී ලබාදීමට තීරණය කර ඇත්තේ ලියාපදිංචි මෙන්ම ක්‍රියාකාරී වීමෝල් හිමි අයට පමණක් බව සභාපතිවරයා පවසයි.

 එයද ඒ සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ කමිටුවක් මගින් සොයා බලා අනතුරුව කැබිනට් අනුමැතියද ඇතිව තෝරාගත් මෝල් හිමියන්ට සහල් තොග ලබා දෙන බව ඔහු පැවසිය.

රජය සතු වී තොග වෙළඳපොලට මුදා හැරීම කඩිනමින් සිදු නොවන බව ඩඞ්ලි සිරිසේන ඊයේ කළ තවත් චෝදනාවකි.

 වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්. බී. දිසානායක මහතා පැවසුවේ එහි සුළු ප්‍රමාදයක් ඇතත් ඉදිරි සති දෙක තුළ ආරක්ෂිත වී තොගය හැර අනෙකුත් සියළු වීතොග නිකුත් කරන බවයි.

(නෙත් නිව්ස්)

සබැඳි පුවත්

'ඇමතිට දෙවියන්ගේ හාල් කැවිලා' - ජනාධිපති සොයුරු කියයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top