nsb

Dec 28, 2016

පොලිස්පතිගේ දුරකථන සංවාදයෙන් හෙළිවූ සැඟව තිබූ රහස ? Featured

පොලිස්පතිවරයාට 'හදිසියේ ලැබුණු දුරකථන ඇමතුම' මගින් සැඟවෙමින් තිබූ රහසක් හෙළිවූ බව සාධාරණ සමාජයක් සඳහා වූ සංවිධානයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

බීබීසී සංදේශය සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ "ඇත්ත වශයෙන්ම කියනවනම් තත්වය ඉතාමත්ම කණගාටුදායකයි. හදිසියේ පොලිස්පතිවරයාට දුන්න දුරකථන ඇමතුමෙන් සැඟවෙමින් තිබුණු රහසක් එළියට ආව. රාජපක්ෂවාදීන් ආරක්ෂා කරන බවට තිබෙන චෝදනාව සත්‍යයක් බවට පිළිගන්නට සිද්ධවෙලා තියෙනවා." යනුවෙනි.

ජනවාරි 8 බල පෙරළියට උර දුන් කණ්ඩායමක් ලෙස තමා ඇතුළු සිවිල් ක්‍රියාධරයන් 19 වතාවක් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාකර ඇතත් ලබාදුන් එකදු ප්‍රතිඥාවක් හෝ ඉටු කිරීමට අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සමත් වී නොමැති බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.


"සීනි තැවරූ බොරුවක්"

Sarathwijesuriya 670px 28 12 16"ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවූ සෑම අවස්ථාවකම අපි නගන චෝදනාවලට ඉතා හොඳින් සවන් දුන්නා. එක චෝදනාවක් හෝ ඔවුන් ප්‍රතික්‍ෂේප කළේ නැහැ. ඉතා මිත්‍රශීලී ලෙස අප සමඟ පිළිසඳරේ යෙදුනට අපට ලබා දුන් එක ප්‍රතිඥාවක් හෝ ඉටුකිරීමට තරම් මේ නායකයන් දෙදෙනාම කටයුතු නොකළ බව කණගාටුවෙන් පවසන්නට සිදුවෙලා තියෙනවා." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

යහපාලනයට දූෂණ චෝදනා ඇති පිරිස් සම්බන්ධකර ගන්නට සිදු වී ඇත්තේ ජාතික ආණ්ඩුව රැක ගනිමින් රටේ ප්‍රධාන ප්‍රශ්න කීපය විසඳා ගැනීමේ අරමුණ තකා බවට පවතින තර්කය "සීනි තැවරූ බොරුවක්" බව මහාචාර්යවරයා පැවසීය.


පැහැදිලි න්‍යායපත්‍රයක් තවම නැහැ :


"රටේ ප්‍රධාන ප්‍රශ්නය ලෙස අපි දකින්නේ ජාතික සංහිඳියාව ඇතිකිරීම. ඒ සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕන වෙනවා. ඒ සඳහා පැහැදිලි න්‍යායපත්‍රයක් තවම නැහැ. දෙපැත්තම කටයුතු කරන්නේ 2020දී බලය ගන්නේ කොහොමද කියන තැන ඉඳල. මන්ත්‍රීවරුන්ට අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම සහ මන්ත්‍රී දීමනා වැඩිකර ගැනීමටද මේ සම්මුතිවාදී ආණ්ඩුව තියෙන්නේ?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

යහපාලනයේ දූෂිතයන් ගැන කතා නොකර මගහරිමින් සිටින බවට තමන්ට එල්ලවී ඇති චෝදනා පිළිබඳව බීබීසීය විමසූවිට මහාචාර්යවරයා කියා සිටියේ වත්මන් ආරක්ෂක ලේකම්වරයා විවේචනය කිරීම නිසා තමන්ගෙන් මිලියන සියයක් වන්දි ඉල්ලා එන්තරවාසියක්ද එවා ඇති බවය.

(බිබිසි සංදේශය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top