Dec 28, 2016

ඓතිහාසික පොකුණු ගල ගල්වලට කඩයි ! Featured

පොළොන්නරුව අත්තනකඩවල ඓතිහාසික වටිනාකමකින් යුතු නටඹුන් සහිත පොකුණුගල කඩා ගොඩනැගිලි සදහා ගල් ගැනීමට අවසර ලබාදී ඇතැයි වාර්තා වේ.

මෙහි ගල්කොරි දැමීමට කොන්ත්‍රාත්කරුවන් හට ලබාදී ඇත්තේ කිසිදු සොයා බැලීමකින් තොරව බව ගම්වාසිහු කියති.

අක්කර 25කින් පමණ සමන්විත මෙම පොකුණුගල මීට පෙර රක්ෂිත කලාපයක් ලෙස පැවතියද මෑතක සිට එහි ගල්වලවල් 6ක් පවත්වාගෙන යාමට අවසරදී ඇති බව ප්‍රදේශවාසීහු කියති.

එසේම මෙහි ඇති පොකුණ දැඩි නියං කාලයක වුවද නොසිදී පැවැතීම නිසා එහි ජලයෙන් පොකුණුගල වැසියෝ සෑම මහ කන්නයකදීම අක්කර 25ක් පමණ වී වගා කරන බවද පැවසේ.

පොකුණු ගල ගම් වැසියෙක් වන පනස් පස් හැවිරිදි ඩබ්ලිව්. එම්. බිසෝමැණිකේ මහත්මිය මේ සම්බන්ධයෙන් අප සමඟ මෙසේ කියා සිටියේය.

PIX 01 G

“මෙහි දැන් පවුල් 150ක් 200ක් විතර ඉන්නවා. මේ ගමට කියන්නේත් පොකුණුගල කියලා. ඒ නම ආවෙ කොහොමද කියලා අපි දන්නේ නෑ. අපට හිතෙන්නේ මේ ගලේ පොකුණක් තියෙනවා. ඒ නිසා වෙන්න ඇති. මේ ගල තියෙන්නේ ගම මැද වටේටම ගෙවල් තියෙන්නේ. පුදුමෙ කියන්නේ මෙච්චර වටිනා කමක් තියෙන තැනක් ගල්වලවල් වලට කඩන්න අවසර දෙන එක. මේ ගමේ හිටපු පරණ අය කියනවා මේ ගල උඩ පන්සලක් තිබුණයි කියල. එකේ හාමුදුරුවො නමක් ඉදලා තියෙනවා. මේ හාමුදුරුවෝ වතුර ගන්න පොකුණට ගිහින් තියෙනවා. ඒ වෙලාවෙ පොකුණෙන් දොරක් ඇරිලා හාමුදුරුවො ඇතුලට ගිහිල්ලා තියෙනවාලු. එදා ඉදලා ගලඋඩ තියෙන පන්සලට කිසිම හාමුදුරු නමක් එන්නේ නෑ. කොහොමහරි පන්සල නම් කැඩිල විනාශවෙලා ගියා. අද ඉතුරු වෙලා තියෙන්නේ බුදු මැදුරත් ගල් කණු ටිකත් විතරයි. පොකුණට බහින ගල් පඩි පෙලත් තියෙනවා. මේ ගල කඩන ලොකු අපරාධයක් වාගේ ම ගල්බෝර දානකොට ගල් ගෙවල් වලටත් එනවා. කාට කිවිවාත් වැඩක් නෑ. එන නිලධාරි ගල් කඩන අයගේ පැත්තේ ඉන්නේ.”

PIX 07 G

දවල්ට යුද පිටියක් වගෙයි : නිධන් ටිකනම් දැන් සුද්ධයි - ගුණපාලPIX 02 G

මේ පිළිබඳව අදහස් දැක්වූ තවත් ගම් වැසියෙක් වන කේ.ජී. ගුණපාල මහතා කියා සිටියේ මේ ප්‍රදේශය දවල්ට යුද පිටියක ස්භාවය ගන්නා බවයි.

මෙසේ විනාශකර දමන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැනක් බව ගම්වැසියන් අදාළ බලධාරීන්ට පෙන්වා දුන් බවත් කී හෙතෙම එය බීරි අලින්ට වීනා වැයීමක් වැනි නිෂ්ඵල දෙයක් වූ බවද පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙහි නිධන් තිබූ බවත් මේවන විට ඒවා ගොඩ අරං ඇති බවත්ය.

PIX 03 GPIX 06 G

ලේකම් රාජකාරි වැඩවල : උත්තරවලට ලියුමක් ඉල්ලයි

මේ පිළිබද කරුණු විමසීමට අප දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලත් ඒ මහතා රාජකාරි කටයුත්තක් සදහා කාර්යාලයෙන් බැහැරව ඇතැයි එහි ප්‍රකාශකයෙක් කියා සිටියේය.

එම ප්‍රකාශයාට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ විට ඔහු කියා සිටියේ අදාළ කරුණ සම්බන්ධයෙන් ගම්වාසීන්ට ලිපියකින් හෝ පැමිණ පැමිණිලි කරණ ලෙස දන්වා සිටියේය.

සටහන හා ඡායාරූප - ඩබ්ලිව්.ඒ. පියතිලක

PIX 11 G

ගල් බොර දැමිමෙන් නිවසකට හානි වු අවස්ථාවක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top