Dec 29, 2016

බැඳුම්කර වංචාවට එරෙහිව රැඩිකල් තීරණයක්‌ !

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් වාර්තාවේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වූ වහාම ජනාධිපතිවරයා බැඳුම්කර වංචාවට එරෙහිව රැඩිකල් තීරණයක්‌ ගනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (28 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

ඒ සඳහා පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වන තෙක්‌ බලා සිටින ලෙසද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා කීවේය.

විවිධ මත ගැටුම් මධ්‍යයේ වත්මන් සම්මුතිවාදී ආණ්‌ඩුව මෙතෙක්‌ කල් පවත්වාගෙන ඒමට සිදු වුවත් 2017 වසර තුළ රැඩිකල් දේශපාලන තීන්දු ගැනීමට සිදුවන වසරක්‌ වනු ඇතැයි ද ඔහු කියා සිටියේය.


 සිංගප්පූරු මොඩලය බැහැ :


මේ අනුව 2017 වසර දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් රැඩිකල් තීරණ ගැනෙන වසරක්‌ වනු ඇතැයිද එසේම ජනාධිපතිවරයා මේ තුළ දේශීය කෘෂි ආර්ථිකය පදනම් කරගත් වැඩපිළිවෙළක්‌ රජය තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයිද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීවේය.

ශ්‍රී ලංකාව දේශීය කෘෂිකාර්මික රටක්‌ නිසා හුවමාරු වෙළෙඳ ආර්ථිකයක්‌ සහිත සිංගප්පූරු මොඩලය අනුගමනය කිරීමට නොහැකි බවත් ඒ නිසා දේශීය කෘෂි ආර්ථිකය සමග රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවත් අබේවර්ධන මහතා අවධාරණය කළේය.

වත්මන් සම්මුතිවාදී රජය තුළ ගැටුමක්‌ ඇති නොවන ආකාරයට මේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා තිරසර යුගයක තෙවසරක ඇරැඹුම සටහන් කරමින් ජනාධිපතිවරයා විසින් තිරසාර දැක්‌ම ප්‍රකාශයට පත්කරන බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා පැවසිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top