Dec 29, 2016

විදුහල්පති සේවයට බඳවා ගත් නිලධාරීන් තවමත් එම තනතුරේ ස්ථානගත කර නැහැ - ලංකා ගුරු සංගමය

විදුහල්පති සේවයේ 3 පන්තියට බඳවා ගත් නිලධාරීන් පළාත් සභා කිහිපයක තවමත් විදුහල්පති තනතුරුවල ස්ථානගත කර නොහැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වෙයි.

2015.11.21 දින පැවති තරග විභාගයේ ප‍්‍රතිඵල මත 2009.05.09 දින විදුහල්පති සේවයට බඳවා ගත් 3858 දෙනා විදුහල්පති සේවයේ 3 පන්තියේ පුරප්පාඩු පවතින පාසල්වල විදුහල්පතිවරු ලෙස ස්ථානගත කරන ලෙස 2016.09.20 දිනැති අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවෙන් දක්වා ඇත. එසේ තිබියදී උතුරු පළාත, නැගෙනහිර පළාත, මධ්‍යම සහ දකුණු පළාතේ මේ දක්වා මෙම විදුහල්පතිවරු පාසල්වල ස්ථාන ගත කිරීමට පියවර ගෙන නැත. එසේම අනෙකුත් පළාත්වල මේ වන විට විදුහල්පතිවරු ස්ථාන ගත කළද බොහෝ දෙනෙක් පාසල්වල නියෝජ්‍ය විදුහල්පතිවරු සහ සහකාර විදුහල්පතිවරු ලෙස ස්ථානගත කර ඇති අතර ඔවුන්ට තවදුරටත් ගුරු සේවයේ රාජකාරිවල නියැලීමට සිදුව ඇත.

2014.10.22 දින නිකුත් කරන ලද 1885/31 දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ ඇතුළත් ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ නව සේවා ව්‍යවස්ථාවට අනුව විදුහල්පති සේවයේ 3 පන්තියේ අනුමත නියෝජ්‍ය විදුහල්පතිවරු සංඛ්‍යාව 1467 කි. සහකාර විදුහල්පතිවරු සංඛ්‍යාව 510 කි. ඉහත කැබිනට් පති‍්‍රකාවේ විධිවිධාන නොසලකා නියෝජ්‍ය සහ සහකාර ලෙස විදුහල්පති ශ්‍රේණිධාරීන් පාසල්වල ස්ථානගත කිරීමෙන් ශී‍්‍ර ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවට අනුව අනුමත සංඛ්‍යාව ද ඉක්ම ගොස් ඇත.

මෙම තත්වයට හේතු වී ඇත්තේ දේශපාලන හා විවිධ උවමනා මත පාසල්වල විදුහල්පති තනතුරුවල වැඩබලන ගුරු සේවයේ නිලධාරීන් විදුහල්පති තනතුරුවල තබා තිබීමයි. එසේම මේ දක්වා විදුහල්පති ශ්‍රේණිධාරීන් ස්ථානගත කොට නොමැති උතුර, නැගෙනහිර, මධ්‍යම හා දකුණු පළාතේ මෙම ශ්‍රේණිධාරීන් පාසල්වල විදුහල්පති තනතුරුවල ස්ථානගත නොකරන්නේ විදුහල්පති තනතුරුවල වැඩබලන ගුරු සේවයේ නිලධාරීන්ට ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විදුහල්පති සේවයේ පත්වීම් ලබාදීමට දරන උත්සාහය නිසාය.

මෙම තත්වයට විරෝධය පළ කර සිටින ලංකා ගුරු සංගමය 2017 පළමු පාසල්වාරය ආරම්භයේ දීම උතුරු, නැගෙනහිර, මධ්‍යම හා දකුණු පළාත්වල විදුහල්පති සේවයේ 3 පන්තියට පත්වීම් ලැබූ විදුහල්පති ශ්‍රේණිධාරීන් ඉහත කැබිනට් පති‍්‍රකාවේ දක්වා ඇති ලෙස විදුහල්පති තනතුරුවල ස්ථානගත කරන ලෙසත්, අනෙකුත් පළාත්වල දැනට නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරු ලෙස ස්ථානගත කර ඇති නිලධාරීන් විදුහල්පතිවරු ලෙස ස්ථානගත කරන ලෙසත් අධ්‍යාපන බලධාරීන්ට අවධාරණය කර සිටී.

මෙයට

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top