nsb

Dec 29, 2016

චීන සමාගම ඉවත්කළ කම්කරු කතාවේ තවත් කතා Featured

මොරගහකන්ද ජලාශයට සමගාමීව ඉදිකරමින් ඇති කළුගඟ ජලාශයේ ඉදිකිරීම් කරමින් සිටියදී ඉවත් කළ බව කියන කම්කරුවන් අදාළ චීන සමාගම තාවකාලිකව කොන්ත්‍රාත් පදනම මත යොදාගෙන සිටි කම්කරුවන් බව එහි වත්මන් කළමනාකරු බව කියන ෂි මහතා කියයි.

මොවුන් අදාළ ව්‍යාපෘතියේ එක් අංශයක සේවය කළ අය බවත්, වර්ෂා සමය ඇරඹීම හේතුවෙන් එම අංශයේ ඉදිකිරීම් තාවකාලිකව නවතා දැමූ බවද ඔහු කියා සිටී.

කෙසේවුවද, රජයේ ඉල්ලීම මත ඉදිරි මාසයක කාලය සඳහා අමතර වැටුපක් ද ඔවුන්ට ගෙවූ බවද ඔහු කියා සිටියේය.

වර්ෂා සමය අවසන් වූ පසු ලබන වසරේ ජනවාරියේ සිට ඉතා සීග්‍රගාමීව මෙම කටයුතු සිදුකරන බැවින් අදාළ කම්කරුවන් පිරිසට අමතරව තවත් කම්කරුවන්ට රැකියා ලබාදීමට අපේක්ෂිත බවද ඔහු කීය.

කළුගඟ ව්‍යාපෘතිය අබන් ගඟෙහි අතුගන්ගාවක් වන කළුගඟ හරස්කොට ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සිදුකරනු ලබන ව්‍යාපෘතියකි.

දැන් කළුගඟේ වැඩ ඉවරයි

අපවෙත වාර්තාවන තොරතුරු අනුවකළුගඟ ව්‍යාපෘතිය වසර 2018 දෙසැම්බර් මාසයේ අවසන් කිරීමට සැලසුම් කර තිබී ඇති අතර අදාළ චීන සමාගම එය කඩිනම් කර 2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ අවසන් කිරීමට කටයුතු සලසා ඇත.

එම සැලසුමට අනුව එම ව්‍යාපෘතියේ හිටපු චීන කලමානාකරු ද නැවත චීනයට ගොස් ඇති අතර ඊට අමතරව එහි සේවය කළ චීන කම්කරුවන් පිරිසක්ද චීනයට ගොස් ඇත.

කම්කරු මතේ

කෙසේවුවද, රැකියා අහිමිවූ කම්කරුවන් පසුගිය 28 වැනිදා විරෝධතාවයක නිරත වූ අතර ඔවුන් කියා සිටින්නේ තමන් සුපුරුදු පරිදි සේවයට වාර්තා කිරීමට පැමිණි අවස්ථාවේ කොන්ත්‍රාත් කරන චීන සමාගමේ නිලධාරීන් කළුගග ජලාශ ඉදිකිරීම නවතා දමන බැවින් සේවයට වාර්තා නොකරන ලෙස තමන්ට දැනුම් දුන් බවයි.

පසුව සේවකයන් 150ක් පමණ දෙනා උදේ චීන ජාතික සමාගමට විරුද්ධව විරෝධතාවක් පවත්වද්දී පොලීසිය පැමිණ එය නවතා දැමූ බවද ඔවුහු පැවසූහ.

මෙම වැඩබිමේ සේවකයන් 600ක් පමණ සේවය කළ බවත් පසුගිය දින කීපයේ කඩින් කඩ සේවකයන් ඉවත් කළ බවද අවසානයේ සියලු සේවකයන් ඉවත් කොට වැඩ කළ වාහන සියල්ල එක් ස්ථානයකට ගාල් කර ඇති බවද ඔවුහු පැවසූහ.

තමන්ගෙන් අයකරගත් අර්ථසාධක මුදල් ගෙවීම වලින් ඉවත්වී වෙනම චීන ජාතිකයන් ගෙන්වා ඉතිරි වැඩ කිරීමේ සැලසුමක් පවතින බවද මෙහි සේවයේ නියතු වූවෝ පවසා සිටිති.

මොරගහකන්ද හා කළුගඟ ජලාශ ව්‍යාපෘති කළමනාකරු ඉංජිනේරු ආර්.බී.තෙන්නකෝන් මහතාගෙන් විමසීමේදී කීවේ එසේ සේවකයන් ඉවත් කිරීමක් සිදුකර නැති බවත් කොන්ත්‍රාත් සමාගමේ කළමනාකරණයේ වෙනසක් සිදු කර ඇති බවත්ය.

28 දා පැවැති විරෝධතාවයේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
(ඡායාරූප - අද)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top