nsb

Dec 30, 2016

'මෛත්‍රී සමග වැඩ කිරීමේ අවුලක් නැහැ'- මහින්ද

1976 සිට හොඳින් හඳුනන පුද්ගලයෙකු වන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග තමන්ට එකට වැඩ කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විදෙස් මාධ්‍යවේදීන් සමග කොළඹ ඊයේ (29) පැවති සුහඳ සාකච්ඡාවකදී ඔහු එබව සඳහන් කළේ, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටිය දී අගමැති ධුරයට පත් කළහොත් ජනාධිපතිවරයා සමග එක්ව වැඩ කළ හැකිදැයි මාධ්‍යවේදීන් කල විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයෙකුට බලයට පත්විය හැක්කේ වාර දෙකක් පමණක් බවට සීමාවක් පනවා ඇති නිසා ව්‍යවස්ථා වෙනසකින් තොරව හිටපු ජනාධිපතිවරයකුට රාජ්‍ය නායකයා විය නොහැකි නොවේදැයි මාධ්‍යවේදියෙකු විමසා සිටි අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දැක්වූ හිටපු ජනාධිපතිවරයා, ‘යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති’ බව කියා සිටියේය.

එහෙත් එවැනි තත්වයක් උද්ගත වුනොත් සිදු වන්නේ තමන්ට අවශ්‍ය කොන්දේසි අනුව බවත් හෙතෙම අවධාරණය කළේය.

ආණ්ඩුව පෙරළා දැමීම :

එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව අතර මේ වනවිට ගැටුම් ඇති වී තිබෙන බවත්, මේ අයුරින් රටකට ඉදිරියට ගමන් කිරීමට නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා මෙහි දී පැවසිය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ආණ්ඩුව සතු වුව ද වත්මන් දේශපාලන තත්වය සලකා බැලීමේ දී ඉදිරි කාලයේ දී සියල්ල වෙනස් විය හැකි බව ද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

2017 වසරේ දී වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බව එහිදී පැවසු හිටපු ජනාධිපතිවරයා, යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති බවත් ‘රාජ්‍ය නායකයා නොවී තමාට රට පාලනය කළ හැකි’ බවත් සඳහන් කළේය.

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් :

ඉකුත් ජනාධිපතිවරණයේ දී ඉන්දියාව, අමෙරිකාව සහ ඉන්දීය රෝ ඔත්තු සේවයේ මැදිහත්වීම හේතුවෙන් තමාට පරාජය වීමට සිදු වූ බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

චීනයට අක්කර පහළොස් දහසක ඉඩම් පැවරීමට තමා එකඟ නොවන බවත්, තම පාලන සමයේ සැලසුම් කර තිබුණේ අක්කර 750 ක් පමණක් ලබාදීමට බවත් හිටපු ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සාකච්ජාවෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා විසින් මාධ්‍යවේදීන්ට ආප්ප ලබා දී සංග්‍රහ කිරීම ද විශේෂත්වයකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top