nsb

Dec 30, 2016

රවිරාජ් නඩු තීන්දුව: දේශීය විමර්ශනයේ යුක්තිය ගැන සැක (වීඩියෝ) Featured

පසුගිය සමයේ මෙරට තුලදී ඝාතනයට ලක්වු දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් ඇතුලු පිරිස් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණ පවත්වනු ඇති බවට නව රජය කෙරෙහි තබන ලද විශ්වාසය හිටපු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව සමගින් රටේත්, ඉන් පිටතත් පලුදු වී ඇති බවට යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙසුනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ වෘත්තීය සමිති නායකයෙක් අනතුරු අඟවයි.

 නඩරාජා රවිරාජ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය කළ බව ඉතාමත්ම පැහැදිලි බව පවසන පුරවැසි සංවිධාන එකමුතුවේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා 29 බ්‍රහස්පතින්දා කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කළේ ඔහු ඝාතනය කළේ ඇයිද යන්නත් දේශපාලනික වශයෙන් සිතීමට හැකි කරුණක් බවයි.


විත්තිය ඉල්ලා සිටි ජූරිය :


පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය සිදු කළ මුලික විමර්ශනවලදී එය ඝාතනයක් බව හෙලිදරව් වී ඇසින් දුටු සාක්ෂි පවා තිබුනත් විත්තියේ නීතිඥයන් විසින් ජුරි සභාවක් ඉල්ලා සිටීම හේතුවෙන් අවසානයේ ලබා ගත් සාක්ෂියක් පදනම් කරගෙන අත්අඩංගුවේ සිටියවුන් ඇතුළු සැකකරුවන් සියලු දෙනා නිදොස් කර නිදහස් කිරීමට කටයුතු කළ බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

හිටපු මන්ත්‍රීවරයාගේ මරණය පැහැදිලි ලෙසම ඝාතනයක් බව ඔප්පු වී තිබියදීත් මෙවැනි තීන්දුවක් දීම හරහා ඝාතනයට ලක් වු අයගේ පවුල්වලට සාධාරණය ඉටු වනවාද යන ප්‍රශ්නය පැන නගින බව පැවසු වෘත්තීය සමිති නායකයා,  ඝාතනවලට සහ දුෂණවලට විරුද්ධව වර්තමාන ආණ්ඩුව ක්‍රියා කරන බවට ජනතාවට ලබා දී තිබු පොරොන්දුව කඩ කර ඇති බව නඩරාජා රවිරාජ් ඝාතන සැකකරුවන් නිදහස් වීම තුල සැලකිය යුතු ප්‍රමාණයකට ඔප්පු වී ඇති බව අවධාරණය කළේය.

දස අවුරුද්දකට ඉහතදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ ශරීරාරක්ෂක ලක්ෂ්මන් ලොකුවැල්ල මහමග මරා දැමීමේ අපරාධයට නඩු පැවරුනු සියලු දෙනා නිදොස් කොට නිදහස් කර යවන ලද්දේ සර්ව සිංහල ජූරි සභාවක් විසිනි.


දේශීය විමර්ශනයට ගැටළු:


ඒ තීන්දුව නිසා ජනතා විශ්වාසය බිද වැටීම වැළැක්වීමට නොහැකි අතර යුද අපරාධ සම්බන්ධයෙන් පසුගිය සමයේ ජීනිවාහිදී එල්ල කළ මානව හිමිකම් චෝදනා රට තුල විභාග කර තීන්දුවක් ගැනීමට ජාත්‍යන්තරය විසින් රටට ලබා දී තිබු අවස්ථාවද මෙම නඩු තීන්දුව හරහා බරපතල ලෙස ප්‍රශ්නකාරී තත්වයක් උද්ගත කරන බව වෘත්තීය සමිති නායකයා පවසා සිටියේය.

 දෙමළ දේශපාලන පක්ෂයක ප්‍රධානියකු මහ දවාලේ මරා දැමූ බවට සාක්ෂි තිබියදීත් එම ඝාතනය හෙළි දරව් වෙමින් තිබියදී සැකකරුවන් නිදොස් කර නිදහස් කරන තත්වයකට රට පත්වීම තුළ රට තුල නීතිය පසිඳලන යාන්ත්‍රණයේ බරපතල දුර්වලතාවයක් පවතින බව ජාත්‍යන්තරය විසින් ඒත්තු ගැනීම කිසිදු අයුරකින් හෝ නැවැත්විය නොහැකි බව සමන් රත්නප්‍රිය මහතා එහිදී දැඩිව අවධාරණය කළේය.


අනිකුත් නඩු පිළිබඳ සැකය :


විශේෂයෙන් දෙමළ දේශපාලනඥයකුගේ හෝ වෙනත් ඝාතනයකදී රට තුළ ඔවුනට සාධාරණයක් ඉටු නොවන බව මෙම තීන්දුව හරහා ඔප්පු කර ඇති අතර ඝාතනයට ලක් වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම්, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ, ටැමිල්නෙට් සංස්කාරක ධර්මරත්නම් සිවරාම් හා රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු අවසන් කර වැරදිකරුවන් හෙලිදරව් කර ආණ්ඩුව ඔවුනට දඩුවම් දෙයිද යන්න සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් ඇති වීම වැලැක්විය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.


මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් මෙරටට එල්ල වී තිබෙන චෝදනා රට තුළ ක්‍රියාත්මක යාන්ත්‍රණයක් හරහා සොයා බැලීමේ ක්‍රමවේදයට ජාත්‍යන්තරය ලබා දී තිබෙන අවස්ථාව අහෝසි කොට යම් හෙයකින් ජාත්‍යන්තර අත පෙවීමක් කළොත් එය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මේ හරහා මතු වන බවද ඔහු එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

එබැවින් ආණ්ඩුවට සහ නීතිය පසිදලන ආයතන වලට ඒවායේ ස්වාධීනත්වය සාධාරණය ඉෂ්ට වන බව ඔප්පු කර පෙන්වීමේ බරපතල වගකීමක් සතු බව පුරවැසි සංවිධාන එකමුතුවේ කැදවුම්කරු තවදුරටත්  අවධාරණය කළේය.

ආණ්ඩු පක්ෂයේම ඇතැම් ඇමැතිවරු ඝාතකයන් සහ දූෂකයන් බෙරීම සදහා “ඉතා කැත” අන්දමින් මැදිහත් වන බවටද චෝදනා එල්ල කළ වෘත්තීතිය සමිති නායකයා, එම ක්‍රියාව නතර නොකරන්නේ නම් තවදුරටත් ඉදිරියට ගමනක් නොමැති බව ජනපති, අගමැති දෙපළ මෙන්ම ආණ්ඩුවත් අමතක නොකළ යුතු බවට අනතුරු ඇගවීය.


වෙනම අධිකරණ ක්‍රමවේදයක් :


එහිදී සමන් රත්නප්‍රිය මහතා වැඩි දුරටත් යෝජනා කර සිටියේ ඝාතන සහ දුෂණ සම්බන්ධයෙන් විභාග කිරීම සදහා වෙනම අධිකරණ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවිය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වන ඉල්ලීම රවිරාජ් තීන්දුව සමගින් වඩාත් ශක්තිමත් වන බවට ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ද ඉකුත්දා බිය පල කළේය.

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය ප්‍රතිසංස්කරණය කළ යුතු බව එක්සත් ජාතීන් ඇතුළු ජගත් මානව හිමිකම් සංවිධාන ආණ්ඩුවට කිහිපවර බලකොට කියා ඇතත්, රජය පවසා තිබෙන්නේ ස්වාධීන කොමිසම් පිහිටුවීමේ දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් අනතුරුව රටේ නීති ආයතන පද්ධතිය නිසි මගට අවතීර්ණ වී ඇති බවයි.


(radiogagana)

සබැඳි පුවත්

'සුමන්තිරන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක විය යුතුයි'
රවිරාජ් තීන්දුව : ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණ යෝජනාවට ශක්තියක්' - මනෝ (වීඩියෝ)
රවිරාජ් ඝාතන තීන්දුවට එරෙහිව අභියාචනයක්
රවිරාජ් ඝාතන නඩුවෙන් බුද්ධි අංශ නිලධාරීන් නිදහස්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top