Dec 30, 2016

දඩ නැතිව වාහන පැවරීමට දුන් කාලය අවසන්

දඩ මුදල් අයකිරීමකින් තොරව වාහන පැවරීම් සඳහා ලබා දී තිබූ සහන කාලය අදින් අවසන් වේ.

මෙම සහන කාලය නැවත දීර්ඝ නොකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පැවසිය.

කෙසේ වෙතත් අද දිනය තුළ උපරිම අයදුම්පත් සංඛ්‍යාවක් භාරගැනීමට කටයුතු කරන බව ඔහු කියා සිටියේය.

වාහන පැවරීම් ඇතුළු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රාජකාරී ඉටුකරවා ගැනීම සඳහා කිසිවෙකුට හෝ අල්ලස් ලබා නොදෙන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.

වාහන පැවරීම්වල දී වාහනයේ හිමිකම ගැනුම්කරුගේ නමට ලියාපදිංචි නොකොට විවෘත ලේඛන මත වාහන ගනුදෙනු සිදු කිරීමට බොහෝ අය පෙළඹී සිටින බවත්, එමගින් පරිපාලන සහ ආරක්ෂාව පිළිබදවද ගැටළු මතුවන බවත්  මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව තවමත් තමන් නමට ලියාපදිංචි කරනොගත් වාහන කඩිනමින් තමන් නමට ලියාපදිංචි කර ගැනීමට වාහන හිමිකරුවන් උනන්දු කරවීම සඳහා මෙම සහන කාලය ලබාදී තිබිණ.

පවතින රෙගුලාසිවලට අනුව වාහන ගනුදෙනුවක් සිදු වී දින 14 ක් ඇතුළත එම වාහනය නව හිමිකරුගේ නමින් ලියාපදිංචි කළ යුතුය.

සහන කාලය අවසන් වීමෙන් පසු ප්‍රමාද වන ලියාපදිංචි කිරීම් සඳහා ප්‍රමාද වන එක් දිනකට රුපියල් සියය බැගින් දඩ අය කෙරෙනු ඇත.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top