Dec 31, 2016

නන්දන ලොකුවිතානට යහපාලනයෙනුත් ලොකු සැලකිලි Featured

සිලෝන් ස්ටීල් කොපරේෂන් ලිමිටඞ් (ලංවා - සංස්ථා වානේ) ආයතනයට බල නොපැවැත්වන ලෙස මෙරට අන් සියලූම වානේ ආනයනනකරුවන්ට පමණක් බලපැවැත්වෙන පරිදි වත්මන් යහපාලන ආණ්ඩුව විසින් පනවනු ලැබු අසාධාරණ බදු ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු කර ඇත.

ලංවා වානේ සමාගමේ සභාපතිවරයා වන්නේ නන්දන ජයදේව ලොකුවිතාන මහතාය. ඔහු පසුගිය රාජපක්ෂ සමයේ දී රාජපක්ෂවරුන් අයථා ලෙස උපයාගත් මහා ධනස්කන්ධයක් විවිධ ව්‍යාපාරවල ආයෝජනය කළ ව්‍යාපාරිකයකු ලෙස චෝදනාවට ලක් වූවෙකි.

එවකට ඔරුවල ලංකා වානේ සංස්ථාව මොහු විසින් මිලදී ගනු ලැබූ අතර එහි සැබෑ හිමිකරුවා හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රජපක්ෂ මහතා බවට ද තොරතුරු ප්‍රචාරය විය.

ඔහු රාජපක්ෂ පාලන සමයේ දී ඩුබායි මැරියට් හෝටලයේ මිලදී ගැනීම ද සිදු කර තිබිණි.

නන්දනගේ සමාගමට පමණයි :

කෙසේ නමුත් මෙලෙස චෝදනා ලද්දෙකු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පවා සිදු වෙමින් පවතින අවස්ථාවක එම ව්‍යාපාරිකයාට මුදල් අමාත්‍යාංශය ඉතා සටකපට ලෙස බදු සහන ලබා දීම ගැටලූකාරීය.

ලංවා වානේ සමාගමට බල නොපැවැත්වෙන පරිදි පසුගිය කාලයේ දී බදු පැනවීම සිදුකර තිබීම මඟින් සෙසු යකඩ අමුද්‍රව්‍ය ආනයනයකරුවන් දැඩි ව්‍යාපාරික අර්බුදයකට මුහුණ පා ඇත.

පසුගිය 2017 අයවැයෙන් ආනයනික යකඩ දඟර කම්බි (වැරගැන්නුම් කම්බි) සඳහා සෙස් බද්දක් පැනවූ අතර එය යකඩ කිලෝවක් සඳහා රුපියල් 8 ක් විය.

ඒ අතරතුර එනම් 2016 නොවැම්බර් 16 වන දින ලංවා වානේ සඳහා එම කම්බි පිරැවූ නෞකාවක් කොළඹ වරාය වෙත පැමිණ තිබිණි. එදිනම එම ආයතනයට පමණක් බලනොපැවැත්වෙන ලෙස මෙම සෙස් බද්ධ පැනවීම සිදු කර ඇත.

රටට මිලියන 160ක අලාභයක් :

එමඟින් එම ආයතනයට එම යකඩ අමුද්‍රවය තොගය බදු ගෙවීමකින් තොරව නිදහස් කර ගැනීමේ අවස්ථාව හිමිකර දී ඇත.

එම ප්‍රමාණය ටොන් 20,000ක් පමණ වන අතර එමඟින් රුපියල් මිලියන 160ක බදු මුදල් ප්‍රමාණයක මෙරටට අහිමි විය.

මේ සම්බන්ධයෙන් අනෙක් යකඩ අමුද්‍රව්‍ය ආනයන සමාගම්වල විරෝධය එල්ල වීමත් සමඟ මෙම සෙස් බද්ද ඉවත් කර එය තීරු බදු මුදලක් ලෙස වෙනස් කිරීමට ලක් කළ නමුත් එමඟින් ලංවා වානේ සමාගම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති යටතේ පවතින්නේ යැයි සඳහන් කරමින් ලංවා වානේ එම තීරු බද්දෙන් ද නිදහස් කරන ලදී.

යකඩ ඒකාධිකාරයක් :

මෙමඟින් අනෙක් සමාගම්වලට තරගකාරී ව්‍යාපාරික අවස්ථාව අහිමි කර ලංවා සමාගමට යකඩ ඒකාධිකාරයක් පවත්වාගෙන යාමේ ඉඩ කඩ ලබා දී ඇත. මේ තත්ත්වය යටතේ අනෙක් සමාගම් සියල්ල වැසී යාමේ තත්ත්වයට පත්ව තිබෙන අතර ඍජු සහ වක්‍ර රැකියා 40,000ක් පමණ අනතුරක පවතී.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 12 වන දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ යකඩ ආනයන සමාගම් විසින් සාකච්ඡාවක් සිදු කරනු ලැබ තිබූ නමුත් එය ඉවත් කිරීම සඳහා පියවර ගෙන තිබුණේ ද නැත.

පසුව ජනාධිපතිවරයා දැනුවත් කිරීමන් පසුව මෙම අසාධාරණ තීරු බදු මුදල ඉවත් කරන ලෙස නියම කර තිබේ.

ජනාධිපතිවත් රවට්ටලා :

එහෙත් ඒ පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින තෙක් පමණක් වලංගු නියෝගයක් බවත් දැන ගැනීමට ඇති නමුත් එක් එක් සමාගම් කෙරෙහි වෙන වෙනම සලකා බලා එම තීරු බදු සහන දෙන ලෙස වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කරනු ලැබ ඇත.

මේ අනුව මුදල් රාජ්‍ය ඇමැති හා ඒ වන විට වැඩ බලන මුදල් ඇමැති ලක්ෂ්මන් යාපා වෙත ඉදිරිපත් වූ ඉල්ලීමක් ප්‍රකාරව එක් තවත් ප්‍රධාන පෙළේ සමාගම් 2 කට පමණක් තීරු බදු සහනය ලබා දීමට පියවර ගෙන තිබේ.

(සුභාෂ් ජයවර්ධන)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top