Dec 31, 2016

'ව්‍යවස්ථා ජනමත විමසුම අපි දිනවනවා' - මංගල Featured

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් මේ වසරේ ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ඒ අනිවාර්යයෙන්ම පරාජයට පත් වන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ගෙදර යාමට සිදු වන බවත් ඇමැති චම්පික රණවක මහතා පවසා සිටි නමුත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ එම ජනමත විචාරණය අනිවාර්යෙන් ජයග්‍රහණය කිරීමට හැකි බවයි.

පවතින දේශපාලන වාතාවරණය නොසලකා හැර මේ මොහොතේ ජනමත විචාරණයක් කැඳවීම අගමැතිවරයාව දේශපාලනිකව පරාජය කිරීම සඳහා වන කුමන්ත්‍රණයක් ද විය හැකි බව ඇමැති චම්පික රණවක මහතා පැවසිය.

බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරයාටත් ඉතාලියේ හිටපු අගමැතිවරයාටත් ගෙදර යාමට සිදු වූයේ ද පවතින දේශපාලන ප්‍රවණතා නොසලකා හැර කටයුතු කිරීම නිසා බවත් ඔහු අවධාරණය කරයි.

දාර්ශනික ගැටුමක ආරම්භය:

චම්පික රණවක මහතාගේ අදහස අනුව 2017 වසර යනු දේශපාලනයේ දාර්ශනික ගැටුමක ආරම්භය සිදු වන වසරකි.

යුරෝපය ලිබරල්වාදය අතහැර ජාතිකවාදයට මාරු වීම, ගෝලීයකරණය වෙනුවට ආර්ථික ජාතිකවාදය ගොඩනැගීම ආදී වශයෙන් වෙනස්කම් රැසක ආරම්භය සිදු වන බවත් එමෙන්ම ඉදිරියේ දී ගෝලීයකරණය මෙහෙයවන්නා බවට චීනය පත් වන බවත් ඔහු පෙන්වා දෙන අතර මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගැඹුරෙන් කල්පනා කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

මේ අනුව බලය බෙදාහැරෙන නව ව්‍යවස්ථාවක් වෙනුවට කාටත් එකඟ විය හැකි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම හා වෙනත් සුළු වෙනස්කම් සිදු කිරීම සඳහා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම පමණක් ප්‍රමාණවත් බවත් ඔහු පවසයි.

තුනෙන් දෙක ගන්න බැහැ :

ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවට හයෙන් පහක බලයක් තිබීම මත ඕනෑම දෙයක් කිරීමට හැකියාවක් තිබුණු නමුත් වර්තමානයේ එජාපයට පවතින්නේ මන්ත්‍රී ආසන 82 ක් පමණක් වීම මත නව ව්‍යවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය තබා 113 වත් අගමැතිවරයාට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවත් චම්පික රණවක ඇමතිවරයා පවසයි.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට දඟලන්නේ එජාපයේ කිහිප දෙනකු පමණක් බවත් අගමැතිවරයා ද මෙම නව ව්‍යවස්ථාව ගෙන ඒමට නොහැකි බව දන්නා බවත් ඔහු පෙන්වා දෙයි.

වැට් බදු පනත සම්මත කර ගැනීමට ද නොහැකි වූ ආණ්ඩුවට සුපිරි ඇමැති පනත හෝ ගෙන ඒමේ හැකියාවක් නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

20 වන සංශෝධනය :

මේ අතර එජාපයේ මහලේකම් ඇමැති කබීර් හෂීම් මහතා ද පසුගිය දා සිය පාක්ෂිකයන් හමුවේ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනමතයක් පැවැත්වුවහොත් එය පරාජයට පත් වන බව පවසා ඇත.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා පමණක් 20 වන සංශෝධනය ගෙන ඒමට ශ්‍රී ලනිපය එකඟ බව පසුගිය දා ඇමැති එස්. බී. දිසානායක මහතා ද මාධ්‍ය හමුවක දී පවසා තිබිණි.

ජනාධිපති ස්ථිර තීරණයක :

ඒ කෙසේ නමුත් විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙන්වා දෙන්නේ ජනමතය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් පවතින බවය.

ජනාධිපතිවරයා ද බලය බෙදාහැරෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සහ ඒ වෙනුවෙන් ජනමතය විමසීම සම්බන්ධයෙන් ස්ථිර තීරණයක සිටින බව පෙන්වා දෙන ඇමතිවරයා, ජනවාරි 08 පෙරළියට දායක වූ සියලූ බලවේග ඒ වෙනුවෙන් පෙළ ගැසෙනු ඇති බවත් එදා ඒ වෙනුවෙන් නොසිටි බලවේග පවා මේ වන විට ජනාධිපතිවරයා සමඟ සිටින බැවින් ඒ පහසුවෙන් ජයගත හැකි බවත් පෙන්වා දෙයි.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම මෙම සම්මුතික ආණ්ඩුව තුළින් සිදු කර නොගතහොත් යළි ඒ වෙනුවෙන් අවස්ථාවක් නොලැබෙන බවත් ඔහු අවධාරණය කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top