nsb

Jan 01, 2017

ශ්‍රීලනිප පිල් දෙකම පුංචි ඡන්දෙට එක අතෙන් Featured

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී  පාර්ශ්වය සහ මහින්ද පාර්ශ්වය එක්ව තරග කිරීම සඳහා වන සාකච්ඡා වටයක් මේ වන විට ආරම්භ වී ඇති බව'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

වෙන්ව තරග කිරීමට යාම ශ්‍රී ලනිපය  පාර්ශ්ව දෙකම දේශපාලනිකව විනාශ වී යා හැකි බව දෙපාර්ශ්වයේම තීරණය වී ඇති නිසා 2020 ශ්‍රීලනිප ආණ්ඩුවක් ඉලක්ක කරගෙන නව වැඩපිළිවෙළක් ඔස්සේ පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම විය යුතු බවත් පසුගිය මහ මැතිවරණයේ දී මෙන් එකිනෙකාගේ කකුලෙන් ඇදීම විවේචනය කිරීම නොවිය යුතු බවටත් දෙපාර්ශ්වය මූලික එකඟත්වයකට පැමිණීම ද මෙම සාකච්ඡාවල දී සිදු වනු ඇති බව එම සාකච්ජාවට සම්බනධව සිටින ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු පැවසීය.


එමෙන්ම දෙපාර්ශ්වය එක් නොවී සිටීමට කිසිදු බරපතළ දේශපාලන හේතුවක් නොමැති වුවත් පවතින මත ගැටුම් මධ්‍යයේ වුව එක්ව ගමන් කර පක්ෂයට ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකි බව ඔහු පෙන්වා දුන්නේය.


චමල්ට පක්ෂයේ ඉහළ තනතුරක්:

කෙසේ නමුත් ශ්‍රී ලනිපයේ වෙනත් ආරංචි මාර්ග පවසා සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙරෙහි මහින්දවාදීන්ගේ විශ්වාසය ගොඩනැගීම වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා පක්ෂයේ යම් වගකිවයුතු තනතුරකට සීමා කිරීම හෝ ඔහු වෙනුවෙන් ගෞරවණීය සමුගැනීමක් ලබා දීම හෝ  සිදු වීමට නියමිත අතර ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව වන චෝදනා සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් සිදුවීමට නියමිත බවය.

එමෙන්ම බොහෝ විට චමල් රාජපක්ෂ මහතාට පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

පසුගිය දා මහින්ද රාජපක්ෂ මහතා විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ, කොන්දේසිවලට යටත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ අගමැති ධුරය දැරීමට තමන්ට හැකි බවත් මෙම වසර තුළ ආණ්ඩු බලය ලබා ගන්නා බවටත් සිදු කළ ප්‍රකාශය මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් බවත් දැන ගැනීමට තිබේ.


බැසිල්ගේ විදෙස්ගතවිම :


එමෙන්ම නව පක්ෂයක් බිහි කළ බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂ කටයුතු අත්හිටුවා මාස කිහිපයකට විදේශගත වූයේ ද මෙම සාකච්ඡා සඳහා අවස්ථාව ලබා දීම වෙනුවෙන් බවත් දැන ගැනීමට තිබේ.

කෙසේ නමුත් මහින්ද පාර්ශ්වය නියෝජනය කරන ශ්‍රී ලනිපයේ ජ්‍යේෂ්ඨයන්ගේ අදහස වී ඇත්තේ කිසිසේත්ම එජාපයෙන් ආණ්ඩු බලය උදුරා නොගත යුතු බවය.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා තිබෙන දැඩි ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට ශ්‍රී ලනිපයට මේ මොහොතේ කළ නොහැකි බවත් ඒ එජාපයට ඔවුන්ගේ විසඳුමක් තුළ විසඳා ගැනීමට ඉඩ දිය යුතු බවත් මේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරු  ජනාධිපතිවරයාටත් මහින්ද රාජපක්ෂ මහතාටත් අවධාරණය කර ඇති බවත් දැන ගැනීමට තිබේ.


සිංහල අලූත් අවුරුද්දට පෙර :

මේ අතර පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය අභියාචනා වාර්තාව පසුගිය දෙසැම්බර් 27 වන දින පළාත්  පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අතට පත් කිරීම සඳහා සූදානමක් තිබුණ ද ඔහු මක්කම වන්දනා කිරීම සඳහා විදෙස්ගත වීමෙන් එය මඟහැරුණු අතර එහි තාක්ෂණික දෝෂ නිසා එය භාර ගැනීම ද ප්‍රතික්ෂේප වී තිබිණි.

මෙම වාර්තාව මෙම සතිය තුළ ගැසට් කිරීම සිදු වූයේ නම් එළඹෙන සිංහල අලූත් අවුරුද්දට පෙර සතියේ පළාත් පාලන මැතිවරණය සඳහා දින නියම වීමට නියමිතව තිබිණි.

කෙසේ නමුත් මේ වන විට පළාත් පාලන ආයතන 131 ක් සඳහා වන සීමා නිර්ණය ගැසට් කිරීම සිදුව ඇති අතර මෙම අභියාචනා වාර්තාවෙන් ගැසට් කිරීම සඳහා ඉතිරිව ඇත්තේ කොට්ඨාස 204 ක පමණය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top