nsb

Jan 01, 2017

දේශපාලන පලිගැනීම්වලට ලක්වූවායැයි, වැඩබලන අධ්‍යක්ෂවරු ස්ථිර කිරීමේ සූදානමක්!

දේශපාලන පලිගැනීම්වලට ලක්වූවා යයි සඳහන් කරමින් 4200 කට ආසන්න පිරිසකට අධ්‍යාපන පරිපාලන සේවයේ, විදුහල්පති සේවයේ හා ගුරු අධ්‍යාපනඥ සේවයේ විවිධ තනතුරු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත්, මෙම කි‍්‍රයාමාර්ගයට එරෙහිව ලංකා ගුරු සංගමය සහ ශී‍්‍ර ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්ගේ සංගමය එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ 164/2016 අංකයෙන් නඩුවක් ගොනුකර ඇති බවත් එසේ තිබියදී එම තනතුරු දීමේ සම්මුඛ පරීක්ෂණ අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කරමින් සිටීම කනගාටුදායක තත්ත්වයක් බවත් ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

තවද ‍මේ පිළිබදව වැඩිදුරටත් එම නිවේදනයේ මෙසේ ද සදහන් වෙයි.

ඊට අමතරව පසුගිය ආණ්ඩුව සමයේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කලාප හා පළාත් අධ්‍යාපන කාර්යාලවල දේශපාලන හා වෙනත් විවිධ උවමනා මත වැඩබලන පදනමෙන් ගුරුවරු සහ විදුහල්පතිවරු අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවල රාජකාරියේ යොදවා තිබුණි. එම පිරිස් සඳහා පරිපාලන සේවයේ පත්වීම් ලබාදීමට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා 2012/ඊඞී/ඊ/13 අංකයෙන් 2012.03.06 දිනැතිව අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවක් නිකුත් කර තිබුණි. එම නීත්‍යානුකූල නොවන කි‍්‍රයාවට එරෙහිව ලංකා ගුරු සංගමය අභියාචනාධිකරණයේ 96/13 අංකයෙන් පෙත්සමක් ගොනුකර එම පෙත්සම විභාගවෙමින් තිබේ. එසේ තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය ආණ්ඩුවෙන් පත් කරන ලද මෙම පිරිස් අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලට අන්තර්ග‍්‍රහණය කිරීමට කටයුතු කිරීම බරපතල අපරාධයකි. මේ වන විට අධ්‍යාපන ලේකම්වරයා 2016.12.08 දිනැති ඊඞී/4/58/1/5/301(iii) අංකයෙන් මෙම නිලධාරීන්ගේ තොරතුරු කැඳවා ඇත.

පසුගිය ආණ්ඩුවේ මෙන්ම වර්තමාන ආණ්ඩුවේ විවිධ දේශපාලන අවශ්‍යතාවලට අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවල රාජකාරි ආවරණයට යොදවන ලද නිලධාරීන්ගේ පත්වීම් ස්ථිර කිරීමට නීත්‍යානුකූල නොවන ආකාරයේ කි‍්‍රයාවක් සිදුකිරීම වහා නතර කළ යුතුය. මේ වන විට මෙම තත්වය නිසාම 2016 වසරේ අධ්‍යාපන පරිපාලන සේවයේ තරග විභාග සමතුන්ට පත්වීම් ලබාදීම මෙන්ම විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ උසස්වීම් ලබාදීම ද වසරක් තිස්සේ ප‍්‍රමාද කොට ඇත. ජනතාව අපේක්ෂා කළ යහපාලනයක් තුළ මේ ආකාරයට නීති විරෝධී පත්වීම් ලබාදීමට විරෝධය පළ කරන ලංකා ගුරු සංගමය මෙම අනීතික කි‍්‍රයාවලිය නතර කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට අවධාරණය කර සිටී.

මෙයට

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top