15976 BM WEB BANNER 01
Jan 02, 2017

'මේ වසරේ විශාල දේශපාලන කම්පනයන්' -වාසු

රට එක් දිශාවකට ගමන් කරද්දී අගමැතිවරයා හා ජනාධිපතිවරයා දිශාවන් දෙකකට ගමන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහය මහතා ඉදිරිපත් කරන්නේ එක් ආර්ථික වැඩපිළිවෙළක් බවත්, රටේ ජනාධිපතිවරයා තවත් ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත් පවසන ඒ මහතා, මේ වර්ෂයේදී රට තුළ විවිධ වෙනස්වීම් මෙන්ම විශාල කම්පනයන්ද ඉදිරියේදී ඇති විය හැකි බව කියා සිටියි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද(02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වරාය විකිණීම : ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

හම්බන්තොට වරාය විකිණීමේ ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කර ඇති බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා එහිදී පැවසිය.

ඒකාබද්ධය විපක්ෂය හා සමාජවාදී ජනතා පෙරමුණ වෙනුවෙන් මෙම පෙත්සම ගොණු කර ඇති බව ඒ මහතා කියා සිටියේය.

ඒ සඳහා නඩු අංක 467-2016 යන අංකය යටතේ අදාළ පෙත්සම ‍ගොණු කර ඇති බවත්, වරාය විකිණීමේ ක්‍රියාමාර්ගයට නැවැත්වීම සඳහා ඕනෑම ක්‍රියා මාර්ගයකට යෑමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කැබිනට් අනුමැතියක් නැහැ :

එමෙන්ම මෙම වරාය විකිණීමේ ක්‍රියාවලියට අදාළව ඇති ගිවිසුමේ කොන්දේසි පිළිබඳව පාර්ලිමේන්තුව හෝ කැබිනට් මණ්ඩලය දැනුම්වත් කර නොමැති බවත්, ඒ සඳහා අනුමැතියක් ලබාගෙන නොමැති බවත් ඒ මහතා පෙන්වා දුනි.

1999 වර්ෂයේදීද මෙවැනිම සිද්ධීන් දෙකකදී එනම් රක්ෂණ සමාගම හා තවත් රජයේ සමාගමක් විකිණීමට විරෝධය පාමින් තමන් ඇතුළු පිරිස ගෙන ගිය ක්‍රියාමාර්ගය අවලංඟු කිරීමට අධිකරණ නියෝග ලබා ගනිමින් හැකියාව ලැබුණු බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ මෙම ක්‍රියාවලිය තුළඳ එලෙසම ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම තවත් සතියක් තුළදී මෙම පෙත්සමට අදාළ අනෙක් පාර්ශවයට කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබෙන බවත් ඒ මහතා ප්‍රකාශ ක‍ළේය.

මෙවැනි තත්ත්වයන් රටේ මහජනතාවගේ මූල්‍යමය හා අනාගතය සම්බන්ධ ගැටළුකාරී තත්ත්වයන් බව පෙන්වාදුන් ඒ මහතා කියා සිටියේ එම තත්ත්වයන් හමුවේ දේශපාලඥයින් වශයෙන් නිසි වගකීම් ඉටු කළ යුතු බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top