Jan 02, 2017

ගල් අගුරු ටෙන්ඩරය : 'බිලියන 04ක පාඩුවක්' -ජනපතිට කියයි Featured

දුෂිත ගල් අගුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය යටතේ ලබන සතියේ සිට යලි ඇරඹීමට නියමිතය මිලදී ගැනීම් නවතා දැමීම සදහා මැදිහත්වන ලෙස කැෆේ සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටියි. 

'නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල්අඟුරු ගෙන්වීමේදී සිදුවී ඇති පාඩුව සහ 2017 වසරේදී රටට සිදුවිය හැකි රුපියල් බිලියන 3.9 ට වැඩි අතිවිශාල පාඩුව වලක්වා ගැනීම' යන ශීර්ෂයෙන් යුතුව කැෆේ සංවිධානය අද (01) එම ඉල්ලීම සිදුකර ඇත. 

නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේදී අනුගමනය කරන ලද ටෙන්ඩර් ක්‍රියාවලියේ දී බරපතල වැරදි සිදුවු බව කැෆේ සංවිධානය මීට පෙර ද ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණ.

2017-01-01 දින Sunday Times පුවත්පතේ පලවී ඇති ආකාරයට විගණකාධිපති වාර්ථාව අනුව නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු මිලදීගැනීමේ දී (ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ කල සමාගමෙන්) රුපියල් බිලියන 3.9 කට වැඩි පාඩුවක් සිදුව ඇති බව වාර්තා කර ඇත.

තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් :

ඉදිරියටත් මෙම සමාගමෙන් තවත් ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් පමණ මිලදීගැනීම සඳහා 2016-11-02 දින කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

කෙසේ නමුත් වත්මන් රජයේ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමන්ගේ (චම්පික රණවකගේ) සමයේ හදුන්වාදුන් ක්ෂනික මිලදීගැනීම් ක්‍රමය මගින් කිසිදු ගැටලුවකින් තොරව ඉතා ලාභදායිව ගල්අගුරු සපයාගනු ලබන බව කැෆේ සංවිධානයේ නිරීක්ෂණය යි.

එම මිලට සාපේක්ෂව 20016-11-02 නැවතත් කැබිනට් අනුමැතිය ලබාදුන් සමාගමෙන් (කැබිනට් මණ්ඩලය නොමගයවා අනුමැතිය ලබාගෙන ඇති නිසා එම ගිවිසුම නීත්‍යනුකූල නොවන බව SCFR394/2015 නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇති) මිලදී ගැනීමෙන් 2017 වසර වෙනුවෙන් ද විශාල මුදලක් රටට අහිමි වනු ඇත.

දැවැන්ත දුෂිත ක්‍රියාවලියක් :

රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට අති දැවැන්ත මුල්‍ය අපහරණයක් සදහා මාවත විවර කරන මෙම ගණුදෙනුව මෙයට වසර දෙකකට පෙර මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීම සදහා ජනාධිපතිවරයා විසින් ලබා දුන් මැතිවරණ පොරොන්දු සියල්ල නොතකා හැරීමක් මෙන්ම, දැවැන්ත දුෂිත ක්‍රියාවලියක් බව කැෆේ සංවිධානය පවසයි.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ මෙසේද සඳහන් වේ.

''මහා පරිමාණ ගල්අගුරු වංචාව මගින් මේ වන විට රටට රුපියල් බිලියන 3.9 ක් යහපාලන රජයට යටතේ අහිවී ඇත. රාජපක්ෂ රජය සමයේ මෙයට වැඩි අලාභයක් සිදු කළ නිසා මෙය නොතකා හැරිය යුතුය යන ස්ථාවරයේ ඔබගේ කැබිනට් මණ්ඩලය සිටින්නේ නම් එය ඉතා අවසනාවන්ත තත්වයකි.

රටට ලාභදායී හා විනිවිදභාවයෙන් යුත් ක්ෂනික මිලදීගැනීම් ක්‍රමය යටතේ නොරොච්චෝලේ බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය ගල් අගුරු ප්‍රමාණය සපයාගැනීමට හැකියාව තිබිය දී රටේ සම්පත් මංකොල්ල කෑමට රාජ්‍ය නිලධාරීන් පිරිසකට ඉඩදීම කිසි ලෙසකින් හෝ සිදු නොවිය යුතු තත්වයකි.

ගල්අගුරු මාෆියාව :

ගල්අගුරු මාෆියාව විසින් බොහෝ බොහෝ ප්‍රබල දේශපාලඥයින් හා රජයේ නිළධාරීන් ගිලගෙන ඇති බව විවෘත රහසකි.

තවද, මීට පෙර SCFR394/2015 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව කැබිනට් මන්ඩලය නොමග යවමින් මෙම ගල් අගුරු ටෙන්ඩරය පිරිනමා ඇති බව තීරණය වූ බව ද ඔබතුමන්ගේ කාරුණික අවධානය සදහා යොමු කරමි.

අනෙක් අතට, මේ වන විට උක්තකරුණ සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ (SCFR 349/2016) ද නඩුවක් විභාග වෙමින් පවතී.

ඉදිරි සතියේ ඇරඹීමට නියමිත ගල් අගුරු මිල දී ගැනීමේ ක්‍රියාවලිය තුලින් සිදුවන මුල්‍ය පාඩුව අවම වශයෙන් රුපියල් බිලියන 4 ක් හෝ එයට ආසන්න ප්‍රමාණයේ වේ.

මෙම ජාතික අපරාධය වැලැක්වීම සදහා සුදුසු පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි.''


සබැඳි පුවත්

ගල්අඟුරු මගඩියේ ගැහිල්ල රුපියල් බිලියන 04 ක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top