Jan 03, 2017

ත්‍රි’මලේ සමූහ සිසු ඝාතනයට 11 වසරක් : ''යුක්තිය ඉටුවී නෑ” Featured

එකොලොස් වසරකට ඉහතදී රජයේ ආරක්ෂක අංශ විසින් සමූහ ඝාතනය කරන ලද බවට චෝදනා කෙරෙන ත්‍රිකුණාමලයේ පාසල් සිසුන් පස්දෙනා වෙනුවෙන් යහපාලන රජයෙන් හෝ යුක්තිය ඉෂ්ටවිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරත්නසිංහම් මහතා පවසයි.

තුරෙයිරත්නසිංහම් මහතා ඒ බව ප්‍රකාශ කළේ 2006 වසරේදී පොලිස් විශේෂ කාර්ය බලකායට චෝදනා නැගෙන ඝාතනයට ලක්වු පාසල් සිසුන් පස්දෙනාගේ 11 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් 'රේඩියෝ ගගන' වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මනෝහරන් රජිකර්, හේමචන්ද්‍රන් යෝගරාජා, ලෝහිතරාජා රෝහන්, තංගතුරෙයි සිවානන්දා සහ ෂන්මුගරාජා ගජේන්ද්‍රන් යන විසිවැනි වියේ පසුවූ පාසල් සිසුන් පස්දෙනා ත්‍රිකුණාමල මුහුදු තීරයේදී වෙඩිතබා ඝාතනය කර තිබුනේ 2006 වසරේ ජනවාරි 02 දිනයි.

ත්‍රිකුණාමල පංච සිසු ඝාතනය සම්බන්ධයෙන් මේ වන තෙක් යුක්තිය ඉටු නොවු බව පවසන මන්ත්‍රී තුරෙයිරත්නසිංහම් මහතා, පෙන්වා දෙන්නේ මිය ගිය සිසුන්ගේ පවුල් වල සාමාජිකයන් වෙත එල්ල වු තර්ජන හමුවේ ඔවුනට රටින් පලා යාමට පවා සිදුව ඇති බවයි.


පොලිස් විශේෂකාර්ය බලකාය :


සිද්ධිය වු සමයේ පොලිස් විශේෂකාර්ය බලකාය වෙත එල්ල වු චෝදනාව පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම එවකට පැවැති රජය විසින්ද ප්‍රතික්ෂේප කරනු ලැබු බව ආවර්ජනය කරන ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේ එම සිසුන් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් බවට එවකට රජය විසින් චෝදනා එල්ල කළ බවයි.

සිසුන් පස්දෙනා එල්.ටී.ටී.ඊ සාමාජිකයන් බවත් ඔවුන් විසින් රජයේ ආරක්ෂක අංශ වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් වු මොහොතේ බෝම්බයක් පුපුරායාමෙන් ඔවුන් මිය ගොස් ඇති බවට එවකට රජය චෝදනා කළත් ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණ වල කිසිදු ප්‍රගතියක් මේ දක්වා නොමැති බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.


සාක්ෂි හෙලිව තිබිය දී !

කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරත්නසිංහම් පෙන්වා දුන්නේ මරණ පරීක්ෂණ වාර්තාව අනුව සිසුන් මිය ගොස් ඇත්තේ වෙඩි වැදීම් වලින් වන අතර එම වෙඩි ප්‍රහාර සමීපයේ සිට එල්ල කළ වෙඩි ප්‍රහාර බවටත් පිළිගත හැකි සාක්ෂි හෙලි වී ඇති බවයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පොලිස් විශේෂකාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුලු පොලිස් නිලධාරීන් 12 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2013.06.05 දින අත්අඩංගුවට ගනු ලැබුවත් හාර මාසයක් ඇතුලත සියලු දෙනා ඇප මත නිදහස් කර යවන ලද බවද මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

මෙම සමූහ ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රගතියක් නොමැතිවීම ගැන කනස්සල්ල පල කළ ඉකුත්දා ජිනීවා නුවර රැස්‌වූ වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.


විකීලීක්ස් සහ බැසිල් රාජපක්‍ෂ :


විකීලීක්ස් කේබල්වලින් හෙළිදරව් වී ඇති කරුණු අනුව, හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා එවකට ඇමෙරිකන් තානාපතිව සිටි රොබර්ට් බ්ලේක් සමග පවසා ඇත්තේ එස්ටීඑෆ් භටයන් ක්‍රියාවට සම්බන්ධ වූ බව තමන් (ආණ්ඩුව) දන්නා නමුත්, ඔවුන්ට නඩු පැවරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති කම නිසා බවයි.


(මුලාශ්‍රය - radiogagana)


සබැඳි පුවත්


ත්‍රි’මලේ සිසු ඝාතන පරීක්ෂණය: නීතිපති කකුලෙන් අදී

තරුණයන් පැහැරගත් වාහනවල කොටස් හමුවෙයි

ත්‍රී'මලේ සිසු ඝාතනයට වසර 10යි (ඇම්නෙස්ටි වීඩියෝවක්)


ත්‍රී'මලේ සිසු ඝාතනය: 'වෙඩි හඬ ඇසුණු විට මම ගාන්ධි ප්‍රතිමාව පැත්ත බැලුවෙමි'

ත්‍රී'මලේ සිසු ඝාතනය: 'වෙඩි තිබ්බේ STF සෙබළු බව අපි දන්නවා' - බැසිල් රාජපක්‍ෂ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top