nsb

Jan 03, 2017

ජනපතිගෙන් ෆයිසර්ට දෝස්මුරයක් !

සීමා නීර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාවට එම කමිටුවේ සාමාජිකයින් අතරින් බහුතරයක් අත්සන් කර තිබියදී එය බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට දොස් පවරා ඇතැයි වාර්තාවේ.

කෙසේවුවද ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ සීමා නීර්ණ අභියාචනා කමිටුවේ සියලු සාමාජිකයන් අත්සන් නොකිරිම පළාත් පාලන මැතිවරණය කල් දැමීම වෙනුවෙන් ආණ්ඩුව යොදාගත් උපක්‍රමයක් බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසූවේ කමිටුවේ බහුතරයක් අදාළ වාර්තාවට අත්සන් තබා ඇති බැවින් මැතිවරණය පැවැත්විමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා ක්‍රියා කළ යුතු බවයි.

අත්සන් නොකළ දෙදෙනා :

එම කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා විසින් අදාළ වාර්තාව ජනවාරි 02දා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා වෙත අද භාර දීමට නියමිතව තිබුණ අතර එහිදී අමාත්‍ය ෆයිසර් මුස්තාපා කියා සිටියේ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙකු ඊට අත්සන් තබා නොතිබීම හේතුවෙන් නෛතික තත්වය පිළිබඳ අවධානය යොමු කොට එය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බවය.

අදාළ වාර්තාවට අත්සන් තබා නැත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත ජ්‍යෙෂ්ඨ නීතීඥ එස් මිස්බා මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත, හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් යන දෙදෙනාය.

පක්ෂ දෙකෙහි ස්ථාවරය :

ඒ සම්බන්ධයෙන් කල විමසීමකදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා, මෙම තත්ත්වයට කමිටු සභාපති අශෝක පීරිස් සහ අමාත්‍ය ෆයිසිර් මුස්තාෆා වග කිවයුතු බව කියා සිටියේය.

එම චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා කියා සිටියේ, සිය නියෝජිතයා අදාළ වාර්තාවට අත්සන් නොතැබූ හේතුව කුමක්දැයි විමසා බැලිය යුතු බවයි.

මේ අතර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසන්නේ, ඉදිරි දින කීපය තුළ සෙසු සාමාජිකයන් දෙදෙනාගේ අත්සන් ලැබූ වහාම තමන් වාර්තාව භාර ගැනීමට කටයුතු කරන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top