nsb

Jan 05, 2017

'සංහිඳියා වාර්තාවේ නිර්දේශයන්ට රජයේ වගකීමක් නැහැ' - චන්ද්‍රිකා

සංහිඳියා වාර්තාවේ අඩංගු කිසිඳු නිර්දේශයක් වෙනුවෙන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගේ මැදිහත්වීමක් සිදුනොකළ බවත්, එසේම ආණ්ඩුවේ කිසිවකුගේ බලපෑමක් සිදුනොවූ බවත් ඒ නිසාම මෙම වාර්තාවේ තිබෙන කිසිදු අදහසකට රජය වගකියන්නේ නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.

හිටපු ජනාධිපතිනිය එම කරණය ප්‍රකාශකර සිටියේ, පෙරේදා (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සංහිඳියා යාන්ත්‍රණය උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් සංක්‍රාන්ති යුක්තියට අදාළ යාන්ත්‍රණය නිර්මාණය කිරීම පිළිබඳ සකස්කළ නිල වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාව සහභාගි වෙමිනි.

ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතිහාසය පුරා අවස්ථා දෙකක දී පමණක් ජාතික සංහිඳියාව නිර්මාණය කිරීම වෙනුවෙන් කතිකාවන් ගොඩනැගුණු බවත් ඉන් එක් අවස්ථාවක් ලෙස 'සුදුනෙළුම්' ව්‍යාපාරය ද දෙවැනි අවස්ථාව වත්මන් රජය මේ දරණ උත්සාහය බව ද ඇය එහිදී පැවසුවාය.

හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේද සඳහන් කළාය.

ජාතිවාදී හැඟීම් ආකල්ප මුල් බැසගෙන නැහැ :

''1994 දී දකුණේ ජනතාව අතර පුළුල් කතිකාවක් නිර්මාණය කරලා ක්‍රමානුකූලව සාමය සඳහා වූ ප්‍රවේශයකට අවතීර්ණ වුණත් අවසානයේ උතුරේ පැවැති යුද්ධය නිසා අවශ්‍ය කාර්යය ඉටුකර ගැනීමට නොහැකි වුණා. අපි සිංහල ජනතාව අතර සිදුකළ නිරීක්ෂණයකට අනුව ඒ මොහොත වන විට 23.3% ක් පමණයි විශ්වාස කළේ යුද්ධයට විසඳුම ලෙස සාම සාකච්ඡා මාර්ගයෙන් දේශපාලන විසඳුමක් හරහා මේ ගැටලුව විසඳාලිය හැකි බව.

නමුත් ඊට වසර දෙකකට පසු සිදුකළ තවත් සමීක්ෂණයකට අනුව 23.3% ක්ව තිබූ ජනමතය 68% දක්වා වර්ධනය වෙලා තිබුණා.

ඒ තුළින් හඳුනාගත් ප්‍රධානම කාරණය ලෙස සඳහන් කළ හැක්කේ, සමහරක් අය ප්‍රකාශ කරන ආකාරයට සිංහල ජනතාව අතර ජාතිවාදී හැඟීම් ආකල්ප මුල්බැසගෙන නොමැති බවයි.

මේ රටේ අඩුම තරමින් අතිබහුතරයක් ජනතාව ජාතිවාදී මානසිකත්වයෙන් තොරයි කියලා සංහිඳියාව වෙනුවෙන් කළ පළමු උත්සාහයේ දී අපි හඳුනා ගත්තා.

රජයේ ප්‍රකාශනයක් නොවේ :

දෙවැනි අවස්ථාව ලෙස මෙම සංහිඳියා යාන්ත්‍රණය උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් සිදුකළ පුළුල් ජනතා සමීක්ෂණයට අනුව නිර්මාණය කළ වාර්තාව.

එය වත්මන් රජයේ ප්‍රකාශනයක් නොවන බවත් ඒ සඳහා ආණ්ඩුව අනුග්‍රහය දැක්වූවා පමණක් බව ප්‍රකාශ කළ යුතුයි.

ඒ නිසා මෙම වාර්තාව මුළුමනින්ම ස්වාධීන වාර්තාවක් බව කිවයුතුයි.

මෙම වාර්තාවේ අඩංගුව වෙනුවෙන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගේ මැදිහත්වීමක් සිදුනොකළ බවත් එසේම ආණ්ඩුවේ කිසිවකුගේ බලපෑමක් සිදුනොකළ බවත් අවධාරණය කරනවා.

මෙම වාර්තාව ස්වාධීනත්වය රැකගෙන සිය කාර්යය මැනවින් ඉටු කිරීම සම්බන්ධයෙන් සංහිඳියා යාන්ත්‍රණය උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සාමාජික මහත්ම මහත්මීන්ට ප්‍රසංසාව හිමි විය යුතුයි.

ඒ වගේම මේ අවස්ථාවේ කිවයුතුයි, මෙම වාර්තාවේ තිබෙන සෑම අදහසකටම රජය වගකියන්නේ නැහැ.

(හිටපු ජනපතිනි චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ සම්පූර්ණ කතාවේ වීඩියෝව)

ස්වර්ණමය අවස්ථාවක් :

සභාපතිනිය ප්‍රකාශ කළ ආකාරයට වාර්තාවේ සියලු කරුණුවල වගකීම කමිටු සාමාජිකයන් භාරගන්නවා. රජය මෙම වාර්තාව ඇගයීමට ලක්කරන අතර එහි අඩංගුව සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකර, විමර්ශනය කර පසුව එයින් කුමන කරුණුද ක්‍රියාත්මක කරන්නේ කියලා තීන්දු කළ යුතුව තියෙනවා.

මගේ ප්‍රාර්ථනාව නම් එහි ඇති බොහොමයක් කරුණු ක්‍රියාත්මක කරන්න හැකි වේවා කියලා.

අවසාන වශයෙන් කිවයුතුයි, ඉතිහාසය පුරා සුවනොවූ තුවාලයක් වූ ජනවර්ගික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමට නිදහස් ලංකාවේ අපට ස්වර්ණමය අවස්ථාවක් ලැබිලා තිබෙනවා.

ඉතිහාසයේ පළමු වතාවට අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සංහිඳියාව වෙනුවෙන් දේශපාලන විසඳුමක් දියත් කළ යුතුයි කියන කාරණයට එකඟතාව පළකරලා තියෙනවා.

ඒ වගේම නව ව්‍යවස්ථාවක් හරහා මේ රටේ දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ලබා දිය යුතු බව පිළිගෙන ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා ''යැයි ඇය අවධාරණය කර සිටියාය.

සබැඳි පුවත්

'යුද අපරාධ' විභාගයට විදෙස් විනිසුරන් නැහැ -රජය

'අධිකරණ යාන්ත්‍රණයට විදේශීය විනිසුරුවන් අවශ්‍යයි'

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top