Jan 06, 2017

හම්බන්තොට වරාය : 'තවම ගිවිසුමක් නැහැ' - ජනපති Featured

හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරයට අදාළ ගිවිසුමක් සම්බන්ධයෙන් බොහෝදෙනා කතාකළත් තවමත් එවැනි ගිවිසුමක් අවසන් වශයෙන් සකස් වී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එවැනි තත්වයක් පවතිද්දී මේ මස හත්වෙනි දින ගිවිසුම අත්සන් තැබෙන බවට අසත්‍ය ප්‍රචාර පළවෙමින් පවතින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේ අත්සන් කිරීමට ගිවිසුමක් සකස් කොට නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.

සිය ආණ්ඩුව වෙනත් රාජ්‍යයන් සමඟ එකඟතා ඇතිකර ගනුලබන්නේ රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ මව්බිමේ ගරුත්වයට හානි නොවන මට්ටමින් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

තම ආණ්ඩුව තුළ රහස් නොමැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

මූලික ගිවිසුමක්‌ අත්සන් කරලා :

මේ අතර ඊයේ (05 දා) මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා පැවසුයේ, හම්බන්තොට වරායට අදාළ මූලික ගිවිසුමක්‌ අත්සන් කර ඇති බවත්, ඊට කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය දැනටමත් ලැබී ඇති බවත් ය.

නියමිත පරිදි ජනවාරි 07 වැනිදා හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේ ගිවිසුමට අත්සන් නොතැබෙන බවත් ඊට හේතුව ඒ සම්බන්ධයෙන් තවමත් අදාළ චීන සමාගම සමඟ අවසන් එකඟතාවකට පත් නොවීම බවත් ඇමතිවරයා කීවේය.

රජය තවමත් අදාළ සමාගම සමඟ සාකච්ඡා කරගෙන යන බවත් මේ මස අවසන් වීමට පෙර අවසන් සාකච්ඡාමය එකඟතාව ඇතිකර ගැනීමට හැකි වනු ඇති බවත් ඇමැති සමරවික්‍රම මහතා මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

ජනාධිපතිගේ විරුද්ධත්වයක්‌ නැහැ :

මේ සඳහා ජනාධිපතිවරයාගේ විරුද්ධත්වයක්‌ නැති බවත් ජනාධිපතිවරයා උපදෙස්‌ දී ඇත්තේ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගෙන ඉන්පසු ඒ පිළිබඳව නීතිපතිවරයාගේ ද උපදෙස්‌ ලබාගන්නා ලෙස බවත් මලික්‌ සමරවික්‍රම ඇමැතිවරයා සඳහන් කළේය.

''මේ වරාය බදු දෙන්නේ චීනයට නොව අපේ රටේම ලියාපදිංචි සමාගමකටයි. එහි හිමිකරුවන් වන්නේ චයිනා මර්චන්ට්‌ සමාගම සහ අපේ වරාය අධිකාරියයි'' යනුවෙන් සඳහන් කළ මලික්‌ සමරවික්‍රම ඇමැතිවරයා, කීවේ මේ මාසය අවසන් වීමට පෙර අදාළ සාකච්ඡා අවසන් කොට අදාළ ගිවිසුමට අත්සන් කිරීමට හැකි වනු ඇති බවයි.

පාරදෘශ්‍ය බව රකින්න :

මේ අතර චීන සමාගමක් වෙත හම්බන්තොට වරාය පැවරීමේදී අදාල ගිවිසුමේ පාරදෘශ්‍ය බව රකින ලෙස වරාය හා නාවික කටයුතු ඇමති අර්ජුන රණතුංග මහතා ද පසුගිය දිනක ඉල්ලීමක් කර තිබිණ.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින ලේකම්වරුන්ගේ කමිටුවට ඇමතිවරයා විසින් ලිඛිතව මේ බව දන්වා ඇත.

රුහුණු සංවර්ධන කලාපය :

කෙසේවුවද කැබිනට් තීරණ දැනුම්දීම සඳහා පෙරේදා (04) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ආණ්ඩුවේ සම මාධ්‍ය ප්‍රකාශක, ඇමති රාජිත සේනාරත්න මහතා පැවසුයේ, හම්බන්තොට වරාය චීන සමාගකමට පැවරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලබන 07 වැනිදා මුල්ගල් තබන බවයි.

කුමන විරෝධතා පැමිණියත් හම්බන්තොට වරාය චීන සමාගකමට පැවරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එය 'ජාතික කර්තව්‍යයක්' බවත් ඇමතිවරයා එහිදී අවධාරණය කර සිටියේය.

ජනවාරි 07 වැනිදා ගිවිසුම අත්සන් නොකරන නමුත්, එදින 'රුහුණු සංවර්ධන කලාපය' ආරම්භ කරන බවත්, චීන තානාපතිවරයා එම අවස්ථාවට සහභාගිවීමට නියමිත බවත් ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

සබැඳි පුවත්

අර්ජුන ජයගනී - හම්බන්තොට වරාය පැවරීම කල් යයි

අර්ජුන රතු එලි දල්වයි - තීරණාත්මක ලිපියක් ලියයි 

අවදානම් තත්ත්වයක් : දිනේෂ් ජනපතිට ලියයි 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top