Jan 06, 2017

සංහිඳියා වාර්තාව : 'සාධනීය පියවරකට බලකිරීමක්' (වීඩියෝ)

යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා මහජන අදහස් විමසීමෙන් පසු රජයට බාර දුන් සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාව සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි නොදන්නා මුත් එම වාර්තාව රජයට සාධනීය පියවර ගැනීමට බලකිරීමක් සිදුවේතැයි එම කමිටුව විශ්වාසය පල කරයි.

සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් සම්පාදනය කර ඇත්තේ විශේෂයෙන්ම වින්දිතයන්ගේ අදහස් අන්තර්ගතවු වාර්තාවක් බව එම කමිටුවේ සාමාජික ගත් කතුවර ගාමිණි වියන්ගොඩ මහතා පවසයි.

රජයත් ජනතාවත් සමග ‘එකවර ගනුදෙනුවක්’

එම වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම රජය සමග මෙන්ම ජනතාව සමග එකවර සිදුකළ ගනුදෙනුවක් බව ඔහු පවසා සිටියේ ජනවාරි 03 දින එම කමිටුව විසින් රජයට බාර දුන් වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා ඊයේ (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදිය.

ඒ හේතුවෙන් එම වාර්තාව පලදායි බවට විශ්වාසය පල කළ ගාමිණි වියන්ගොඩ මහතා, ඒ සම්බන්ධයෙන් සංවාදයක් ගොඩ නගන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

රජයට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් විවිධ වු පටු දේශපාලන පරමාර්ථ පෙරදැරිව එක් එක් අර්ථකථන මේ වන විට ඉදිරිපත් වෙමින් තිබෙන බැවින් යම් යම් කණ්ඩායම් ඒ පිළිබදව සම්පුර්ණයෙන්ම නිශේධනාත්මකව අදහස් ඉදිරියේදී රටට දීමට පටන් ගැනීමට හැකි බවටද ඔහු අනතුරු ඇගවීය.

විසඳුමකට උපස්ථම්භකයක් :

රටේ ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට සහ එම සහජීවනය මත පදනම් වු කිසියම් විසඳුමකට ලගා වීම සදහා සංහිඳියා කමිටුවේ වාර්තාව මෑත කාලීනවම උපස්ථම්භක වනු ඇති බවට ඔහු විශ්වාසය පල කළේය.

එම මාධ්‍ය හමුව සදහා සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායයේ ප්‍රධානී අධිනීතිඥ මනෝරි මුත්තෙට්ටුවගම සමග සෙසු සාමාජිකයන් කිහිප දෙනෙක්ම එක්ව සිටියහ.

ජනතාව අතර සමඟිය, සාමය, දයාව සහ සහෝදරත්වය වැඩිදියුණු කිරීම අරමුණ කරගෙන රජය විසින් පත් කළ එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ගාමිණි වියන්ගොඩ, කේ ඩබ් ජනරංජන, මහාචාර්ය දයා සෝමසුන්දරම්, විශාකා ධර්මදාස, ශාන්තා අභිමානසිංහම්, මහාචාර්ය චිත්‍රලේඛා මෞනගුරු, ආචාර්ය ෆර්සානා හනිෆා, මහාචාර්ය ගමීලා සමරසිංහ සහ මිරාක් රහීම් කටයුතු කළේය.

විදේශ විනිසුරන් : ජනතාවගේ අදහසක්

මාධ්‍ය හමුවෙන් අනතුරුව 'සිලෝන් ජර්නල්ස්' වෙත අදහස් දැක්වූ ගාමිණී වියන්ගොඩ මහතා, ශ්‍රී ලංකාවට එල්ල වී තිබෙන යුධ අපරාධ චෝදනා විභග කිරිමේ විනිශ්ව සභාවකට විදේශ විනිසුරන් සිටිය යුතු බව සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විශ්වාස කරන අතර එය කමිටුවේ “ඕපපාතික අදහසක්” නොව රට පුරා ගොස් ජනතාව ගෙන් ලබා ගත් අදහස් වලින් පෝෂණ වු යෝජනාවක් බව කියා සිටියේය.

යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පරීක්ෂා කෙරෙන අධිකරණ යාන්ත්‍රණයට විදේශ විනිසුරන් සම්බන්ධ කර නොගන්නා අතර එය සම්පුර්ණ දේශිය විනිසුරන්ගෙන් සිදු කිරීම රජයේ ස්ථාවරය බව පෙරේදා (04) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසිය.

රාජිත ඇමතිවරයා සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් පවතින බැවි කියා සිටි ගාමිණි වියන්ගොඩ මහතා, මෙය කමිටු නිර්දේශයක් මිස ආණ්ඩුවේ නිර්දේශය නොවන බවද සඳහන් කළේය.

කමිටුව එවැනි අධිකරණයක් තිබිය යුතු බවට විශ්වාසය පළ කරන බව ද ඔහු අවධාරණය කළේය.

මෑත කාලින සාක්ෂි :

එසේ විශ්වාස කිරීමට කමිටුවට ඇති තරම් සාක්ෂි ඇති අතර ඉතාම මෑත කාලින සාක්ෂියක් ලෙස අපේ අධිකරණය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ්ගේ ඝාතනය සම්බන්ධයෙන් දුන් නඩු තීන්දුව අනුව පැහැදිලි වන බව ගාමිණි වියන්ගොඩ මහතා කියා සිටියේය.

විදේශිය විනිසුරන් සහභාගි කරවා ගැනීම සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ මතය බවත් විදේශ විනිසුරන් සහභාගී කරගෙන විනිශ්චය කටයුතු සිදු කරන අධිකරණයකට ජනාධිපතිවරයා සහ රජය එකඟ නොවන බවට කමිටුවට මෙයට ඉහතදී සිටම අවබෝධයක් පැවැති බවත් ඔහු පැවසීය.

මෙම කමිටුව ආණ්ඩුව විසින් පත් කලද, කමිටුවේ මතය ආන්ඩුවේ මතය නොව අතර මෙය සිවිල් සමාජ ක්‍රියාධරයන්ගෙන් සැදුම්ලත් ස්වාධින කමිටුවක් බව ගාමිණි වියන්ගොඩ මහතා 'සිලෝන් ජර්නල්ස්' වෙත තවදුරටත් කියා සිටියේය.

ජනපති අසනීපෙන්, අගමැති පරක්කුයි:

සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ නිර්දේශ ඇතුලත් වාර්තාව බාර ගැනීමට ජනාධිපතිපතිවරයා නොපැමිණියේ අසනීප තත්ත්වයන් නිසාවෙන් සහ අගමැතිවරයාට සහභාගී වීමට නොහැකි වුයේ ඔහු වෙනත් වැඩක් සඳහා ගොස් ඒමට ප්‍රමාද වු නිසා බවද ගාමිණි වියන්ගොඩ මහතා පැවසිය.

මෙම නිර්දේශ ඇතුලත් වාර්තාව කිහිපවරක්ම ජනාධිපති සහ අගමැතිවරයාට බාර දීමට කටයුතු යොදා ගෙන තිබුනද ඒ සෑම අවස්ථාවකදීම එය කල් දැමු අතර ජනාධිපති ලේකම් කාර්යාල විසින් ඒ සදහා ජනවාරි 03 දින කමිටුව වෙත ලබා දී තිබුණි.

ජනපති හා අගමැති එම උත්සවය සහභාගි නොවීම බරපතල දෙයක් ලෙස කමිටුව නොසිත අතර ජනාධිපතිවරයා වෙනුවෙන් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මිය ඊට ‍සහභාගී වූ බවත්, ජනධිපතිවරයා හා අගමැතිවරයා හිතාමතා එය මඟහැරී බවට කමිටුව විශ්වාස නොකරන බවත් ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය.

ජනතාව සමඟ මෙම නිර්දේශ සම්බන්ධව සංවාද ඇති කරමින් කමිටුව විසින් ඉදිරිපත් කල නිර්දේශ වෙනුවෙන් පෙනී සිටිමින් ඒවා ක්‍රීයාත්මක කර ගැනීමටද කමිටුව උත්සාහ දරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

(මූලාශ්‍රය - radiogagana)


සබැඳි පුවත්

හයිබ්‍රිඩ් උසාවිය : මානව හිමිකම් කොමිසමෙන් රාජිතට ප්‍රතිචාර

සංහිඳියා වාර්තාවේ නිර්දේශයන්ට රජයේ වගකීමක් නැහැ' - චන්ද්‍රිකා 

'යුද අපරාධ' විභාගයට විදෙස් විනිසුරන් නැහැ -රාජිත 

'අධිකරණ යාන්ත්‍රණයට විදේශීය විනිසුරුවන් අවශ්‍යයි'

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top