Jan 06, 2017

'අපේ ප්‍රශ්න විසදන්න විදෙස් විනිසුරන් ඕනෑ නෑ' - අධිකරණ ඇමැති Featured

මෙරට ගැටලු විසඳීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවරු අවශ්‍ය නොවන බව ද එසේ පැමිණෙන විනිසුරුවරුන් භාර ගන්නේ නැතැයි ද අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර සිටියි.

සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බළකාය විසින් ජනවාරි 03දා එළිදැක්‌වූ වාර්තාව සම්බන්ධව 'දිවයින' පුවත්පත කළ විමසීමේදී රාජපක්‍ෂ මහතා ඒ බව සඳහන් කර තිබේ.

යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පරීක්ෂා කෙරෙන අධිකරණ යාන්ත්‍රණයට එක් විදේශීය විනිසුරුවකු හෝ සම්බන්ධ විය යුතු බවට සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය නිර්දේශ කර තිබිණ.

අධ්‍යයනය කළේත් නැ - පිළිගන්නේත් නැ :


මේ සම්බන්ධව අප කළ විමසීමේදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

"අපි සූදානම් නෑ විදෙස්‌ විනිසුරුවරුන් පිළිගන්න. මම ඔය කියන වාර්තාව තවම අධ්‍යයනය කළේ නැ. කොහොම වුණත් ආණ්‌ඩුවේ පැහැදිලි ස්‌ථාවරය තමයි ජාත්‍යන්තර විනිසුරුවරුන් භාර ගන්නේ නෑ කියන එක.

අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුවත් ඒ සඳහා ප්‍රතිපාදන නෑ. දෙවනුව අපේ රටේ අධිකරණය හෑල්ලු කරන්න, බාල්දු කරන්න අපට බැහැ. ලෝකයේ ඕනෑම රටක විනිසුරුවරුන් සමඟ සමකළ හැකි විනිසුරුවරුන් අපේ රටේ ඉන්නවා.

ඒ නිසා අපේ ප්‍රශ්න නිරාකරණය කරන්න විදෙස්‌ විනිසුරුවරු ඕනෑ නෑ. ඒ සඳහා අපි ඉඩ දෙන්නෙත් නෑ."


ස්ථාවරයේ වෙනසක් නැහැ :


මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පවසන්නේ, ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන පරීක්ෂා කරන විනිසුරු මඬුල්ල සඳහා විදේශීය විනිසුරන්ගෙන් සමන්විත 'හයිබ්‍රිඩ් උසාවියක්' පිහිටුවීම පිළිබඳව එහි කොමසාරිස්වරයාගේ ස්ථාවරයේ වෙනසක් සිදුවී නැති බවයි.

එම කොමිසම ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රතිචාර දක්වා තිබුණේ එවැනි විනිසුරු මඬුල්ලක් සඳහා එක් විදේශීය විනිසුරුවකුවත් අසුන් නොගන්නා බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙනි.


රජයේ වගකීමක් නැහැ' - චන්ද්‍රිකා


කෙසේවුවද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසන්නේ, සංහිඳියා වාර්තාවේ අඩංගු කිසිඳු නිර්දේශයක් වෙනුවෙන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගේ මැදිහත්වීමක් සිදුනොකළ බවත්, එසේම ආණ්ඩුවේ කිසිවකුගේ බලපෑමක් සිදුනොවූ බවත් ඒ නිසාම මෙම වාර්තාවේ තිබෙන කිසිදු අදහසකට රජය වගකියන්නේ නැති බවයි.

හිටපු ජනාධිපතිනිය එම කරණය ප්‍රකාශකර සිටියේ, පසුගිය 03දා ජනාධිපති කාර්යාලයේ දී පැවැති සංහිඳියා යාන්ත්‍රණය උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් සංක්‍රාන්ති යුක්තියට අදාළ යාන්ත්‍රණය නිර්මාණය කිරීම පිළිබඳ සකස්කළ නිල වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාව සහභාගි වෙමිනි.


සබැඳි පුවත්


සංහිඳියා වාර්තාව : 'සාධනීය පියවරකට බලකිරීමක්'

හයිබ්‍රිඩ් උසාවිය : මානව හිමිකම් කොමිසමෙන් රාජිතට ප්‍රතිචාර

සංහිඳියා වාර්තාවේ නිර්දේශයන්ට රජයේ වගකීමක් නැහැ' - චන්ද්‍රිකා

'යුද අපරාධ' විභාගයට විදෙස් විනිසුරන් නැහැ -රාජිත

'අධිකරණ යාන්ත්‍රණයට විදේශීය විනිසුරුවන් අවශ්‍යයි'

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top