15976 BM WEB BANNER 01
Jan 06, 2017

'එජාප නියෝජිතයාට අල්ලා දෙවියන්ගේ පිහිටයි' - කැෆේ

සිමා නිර්ණය අභියාචනා විමර්ශන කොමිෂන් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත, ජ්‍යෙෂ්ඨ නිතිඥ අබ්දුල් සත්තාර් එම්. මිස්බා මහතාට '' අල්ලා දෙවියන්ගේ බලයෙන් සිමා නිර්ණය පිළිබද අභියාචනා කමිටු වාර්තාවට අත්සන් කිරීම සදහා ශක්තිය හා ධෛර්යය ලැබේවා'' යි කැෆේ සංවිධානය ප්‍රර්ථනා කර සිටියි.

සීමා නිර්ණය අභියාචන විමර්ශන කොමිෂන් සභා වාර්තාව සම්පූර්ණ කිරීමට දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා වෙත කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් අද (06) වන දින ඔහු වෙත ලිපියක් යොමු කරමින් එම ප්‍රාර්ථනය කර ඇත.

මෙම වාර්තාවට එකග නොවන්නේ නම්, ඔහුගේ නිර්දේශ ඉදිරි දින කිහිපය තුල නොපමාව ඉදිරිපත් කරන ලෙස ද එම ලිපිය මගින් මිස්බා මහතාගෙන් ඉල්ලා තිබේ.

එම ලිපියේ මෙසේ සඳහන් වේ.

''2015 දෙසැම්බර් මස මුල දී පලාත් පාලන විෂය භාර අමාත්‍යවරයා විසින් අශෝක පීරිස් මහතා ගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ කමිටුවේ එජාප නියෝජිතයා වූ ඔබ කමිටු රැස්වීම්වලට සහභාගි වෙමින් සියළු දිස්ත්‍රික් වෙත යමින්, ඉතා උද්යෝගීමත්ව කටයුතු කළ බව මා පුද්ගලිකව දන්වමි.

එමෙන්ම එම වාර්තාව කඩිනමින් නිම කිරීමේ අවශ්‍යතාව ඔබට ද තිබූ බව මම හොදින්ම දනිමි. ඔබ අවංකව කැපවීමෙන් යුතුව මේ සදහා සහාය වූ බව අශෝක පීරිස් මහතා ඇතුළු මුළු කමිටුවේ ම මතයයි.

තවද, ඔබ ඉතා වැදගත් පවුල් පසුබිමක් සහිත ස්වකීය වෘත්තීය ජිවිතයේ කිසිදු අකටයුත්තකට සහභාගි නොවු අයෙකු බවට ඔබගේ ද අපගේ ද මිතුරන්ගෙන් දැනගැනීමට ලැබුණි.

එමෙන්ම රාජකීය විද්‍යාලයේ ඔබ සමග ඉගෙනුම ලැබූ පාසල් සගයින්ගේන් දැනගත් කරුණු අනුව, ‘ඔබ උගනිව් නැතහොත් පිටවෙව්‘ ආදර්ශ පාඨය අනුව ක්‍රියා කරන සැබෑ රාජකීය ගති ගුණ වලින් යුතු අයෙකු බව ද, ඔබගේ සමීපතයින්ගේ අදහසයි.

එසේම පළාත් පාලන ඡන්ද විමසීම කල් තැබීමට අවශ්‍යව ඇත්තේ ඔබ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයට නොව වෙනත් පක්ෂයකට බව ද ඇතැයි දේශපාලන විචාරකයින් ගේ සහ දේශපාලනඥයින් ගේ මතයයි.

තව ද, දෙසැම්බර් 27 දිනත් ඔබ අශෝක පීරිස් මහතා ප්‍රමුඛ සෙසු කමිටු සාමාජිකයින් සමග එක්ව සිටි බව අපි දනිමු. එහෙයින්, මෙම වාර්තාවට ඔබ අත්සන් නොතැබීම පුදුමයට හා කණගාටුවට කරුණකි.

යහපත් දේශපාලනඥයෙකු සැබෑ ඉස්ලාම් භක්තිකයෙකු හා වෘත්තීයමය නීතිඥයෙකු වන ඔබ ජනතා පරමාධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සර්වජන ඡන්දබලය ආරක්ෂා කර දීම සදහා එකී වාර්තාවට නොපමාව අත්සන් කරනු ඇති බව මහජනතාවගේ බලාපොරොත්තුවයි.

පලාත් පාලනය දැවැන්ත බිදවැටීමකට ලක්වී ඇති මේ මොහොතේ ඔබ විසින් ඉටු කළ යුතු ජාතික යුතුකම වන්නේ ද, පළාත් මැතිවරණය හැකි ඉක්මනින් පැවත්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි.

එබැවින්, ඔබ විසින් ක්‍රියාකාරී ලෙස සහභාගී වෙමින්, උනන්දුවෙන් සකස් කරන ලද, එකී වාර්තාවට ඔබගේ අත්සන ලබා දෙන ලෙස ඉල්ලමි.

අල්ලා දෙවියන්ගේ බලයෙන් ඔබට සිමා නිර්ණය පිළිබද අභියාචනා කමිටු වාර්තාවට අත්සන් කිරීම සදහා ශක්තිය හා ධෛර්යය ලැබේවා!''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top