Jan 08, 2017

රසකැවිලි වෙන් කරගන්න ට්‍රැෆික් ලයිට් ! Featured

ශ්‍රී ලංකාවේ රසකැවිලි නිෂ්පාදන සඳහාත් සීනී මට්ටම දැක්වෙන  වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දීමට  නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

බිස්කට් වර්ග, ටොෆි වර්ග, කේක්, දොදොල්, බූන්දි වැනි සියලුම රසකැවිලි  සඳහා ද ඉදිරියේ දී මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනු ඇත.

ඒ අනුව මෙම නිෂ්පාදන ග්‍රෑම් 100 ක් සඳහා ග්‍රෑම් 11 කට වැඩි ඉහළ සීනි මට්ටමක් අඩංගු නම් රතු වර්ණය  ද ග්‍රෑම් 02 සිට ග්‍රෑම් 11 දක්වා මධ්‍යම සීනි මට්ටමක් අඩංගු නම් කහ වර්ණය ද ග්‍රෑම් 02 කට වඩා අඩු සීනි මට්ටම සඳහා  කොළ වර්ණය  ද සඳහන් වීමට නියමිතය.

කෙසේ වෙතත් රසකැවිලි නිෂ්පාදනවල සීනි මට්ටම අඩු කිරීමට පියවර  ගැනීමේ තීරණය සම්බන්ධයෙන් බිස්කට් නිෂ්පාදන සමාගම්වල විරෝධයක් ද එල්ලව ඇති බව පැවසේ. ඔවුන් සීනි  මට්ටම අඩු වීම හරහා ආහාරයේ රසයට බාධාවක් ඇති වන බවට මතයක් ඉදිරිපත් කර ඇත.


1980 අංක 26 දරන ආහාර පනත යටතේ නිකුත් කළ ආහාර ශ්‍රේණි මට්ටම් සඳහා වන වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට ඉහත පියවර ගෙන තිබුණි. 

එම තීරණය 2016 වසරේ අගෝස්තු මස සිට ක්‍රියාත්මක වූ  අතර ආහාර පාලන පනතේ විධි විධාන යටතේ සෑම පැණි බීම වර්ගයක් සඳහා ද මෙම ක්‍රමය ක්‍රියාත්මක විය.


කොකා කෝලා රතු පැහැයෙන් කහ පැහැයට :


මේ අනුව අලෙවිය අඩු වීම හේතුවෙන් මෙරට කොකා කෝලා සමාගම තම බීම තුළ අඩංගු සීනි සාන්ද්‍රණය අඩු කිරීමට තීරණය කර ඇති බව ද  වාර්තා විය.

කොකා කෝලා මිලිලීටර් 100 ක අඩංගු සීනි ප්‍රමාණය 11ට වැඩි අගයක තිබූ බැවින් එයට හිමිව තිබුණේ රතු වර්ණයයි. ඒ අනුව එම සමාගම සීනි මට්ටම 10 දක්වා අඩු කර කහ වර්ණ සංකේතය ලබා ගැනීමට සැලසුම් කර ඇති බව  පැවසේ.

මීට අමතරව සීනි භාවිතය අඩු කිරීම පිණිස වර්ණ සටහන් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බැවින් නියමිත ප්‍රමාණයට වඩා සීනි, ලුණු සහ මේදය අඩංගු ආහාර  වෙනුවෙන් විශේෂ බද්දක් පැනවීමට ද සිදු වෙනු ඇති බව අමාත්‍යවරයා මීට ඉහත දී ප්‍රකාශ කර තිබුණි.


බෝ නොවන රෝග :


බීම වර්ගවල සහ ආහාරවල අඩංගු සරල සීනි හෙවත් සුක්‍රෝස් වර්ග  හරහා දීර්ඝකාලීනව දියවැඩියාව සහ විවිධ රෝග ඇති විය හැකි බව වෛද්‍ය මතයයි.

වර්තමානයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගෙන් සියයට 70ක් පමණ දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග හේතුවෙන් ඇතුළත් වන රෝගීන් බව සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්  ස්ථූලභාවය, දියවැඩියාව සහ දත් දිරායාම  අවම කිරීම සඳහා  පලතුරු සහ කිරිවල අඩංගු ස්වාභාවික සීනි හැරුණු විට ආහාරයේ අඩංගු අනෙක් සියලුම ආකාරයේ සීනි  පරිභෝජනය අවම කිරීමට පියවර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක ද  දැක්වේ.


(සිතාරා කුලරත්න)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top