Jan 08, 2017

වැලි ජාවාරමට හරස් වූ භූ විද්‍යා අධ්‍යක්ෂක ගෙදර ! Featured

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් නිසි ක්‍රමවේදයන් බැහැරව සහ ජාවාරම්කාරී ලෙස යාන්ඔය ව්‍යාපෘතියේ වැලි කැපීමේ නිරත වූ පුද්ගලයන්ගේ බලපත්‍ර අවලංගු කළ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. සජ්ජන ද සිල්වා මහතාට විවිධ පාර්ශ්ව වෙතින් තර්ජන එල්ල වී ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමීක්ෂණවලින් අනතුරුව යාන්ඔය ජල ගැලුම් ව්‍යාපෘතියේ වැලි නිධිය කපා ඉවත් කර ගැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය බලපත්‍ර නිකුත් කර ඇත්තේ පසුගිය වසරේ ජූලි මස 28 වන දිනය.

හෙක්ටයාර හාරදහසක වැලි නිධියේ අයිතිය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයට අයත් ආයතනවල මතු වූ නීතිමය ගැටලුවක් හේතුවෙන් වැලි නිධිය කපා ඉවත් කිරීමට ලබා දුන් බලපත්‍ර හතළිහක් තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ ඉකුත් වසරේ නොවැම්බර් 4 වන දිනය.

ඉන් පසුව විධිමත් ක්‍රමවේදයකට අනුව වැලි නිධිය කපා ඉවත් කර ගැනීම සඳහා නොවැම්බර් මස 27 වන දින බලපත්‍ර 27 ක් පමණක් නිකුත් කිරීමට පතල් කාර්යාංශය කටයුතු කර ඇත.


වැලි නිධිය ආක්‍රමණය :

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ වැලි නිධිය කපා ඉවත් කිරීමට බලපත්‍ර නිකුත් කෙරුණත් බලපත්‍රලාභීන් ඇතුළු විවිධ පිරිස් අත්තනෝමතිකව සහ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් නිසි ක්‍රමවේදයෙන් බැහැරව වැලි නිධිය ආක්‍රමණය කිරීම ආරම්භ කර තිබිණි.

රජයට නිසි ආදායමක් ලැබෙන සේ වැලි නිධිය කපා ඉවත් කිරීම සඳහා බලපත්‍ර නිකුත් කෙරෙන තෙක් වැලි නිධිය කපා ඉවත් කිරීම තාවකාලිකව යළිත් වරක් අත්හිටුවනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 31 වන දිනය.

එම තහනමෙන් පසුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට විවිධ පාර්ශ්ව වෙතින් තර්ජන එල්ල වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයකු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරයකු ද ඊට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී තිබේ.


නීතිමය ක්‍රියාමාර්ග :

පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට තර්ජන එල්ල වී තිබේදැයි කරන ලද විමසීමකට පිළිතුරු දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ තමන්ට එවැනි තර්ජන එල්ල වෙමින් පවතින බවයි. තමන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම කියා සිටියේය.

මේ අතර පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සහාපතිවරයාට ලිපියක් යොමු කරමින් කියා ඇත්තේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම තනතුරින් ඉවත් කරන ලෙසයි.

වාර්තා වූ එම තොරතුරු සනාථ කර ගැනීම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු කියා සිටියේ “ඉවත් කරන්න කියලා මට කියලා නැහැ. තනතුරු විධිමත් කරන්න විධිමත් ක්‍රමවේදයකට අනුව පත් කිරීම කරන්න කියන ලිපියක් එවා තියෙනවා” යනුවෙනි.

දැනට සිටින්නේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයකු බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම හෝ ඉවත් කිරීම විෂයභාර අමාත්‍යවරයා විසින් සිදු කළ යුතු බවට පනතේ සඳහන්ව තිබිය දී ඊට පිටින් අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කිරීම පිළිබඳව ගැටලුවක් මතු වන අතර පරිසර අමාත්‍යාංශයේ විෂයභාර අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.


(සත්හඬ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top