Jan 09, 2017

'රාජපක්ෂලා බලය හැරදා පළා ගියා' - ජනාධිපති

2015 වසරවන විට රට තුළ පැවති ආර්ථික අර්බුදය සහ ජාත්‍යන්තරයෙන් එල්ල වූ විරෝධයට මුහුණ දීමට අපොහොසත්ව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලය අත්හැර පළා ගිය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ සිය පදවි ප්‍රාප්තියෙන් දෙවසරක් ගතවීම නිමිති කොට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ(08) පැවති උත්සවය අමතා අදහස් දක්වමිනි.

"ලෝකයේ මොන රාජ්‍ය නායකයද, මොන ආණ්ඩුවද තමන්ට තව බලයේ ඉන්න අවුරුදු දෙකක් තිබියදී, නෑ ඒ අවුරුදු දෙක එපා කියලා මැතිවරණයකට යන්නේ."

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ චෝදනා සහ යෝජනා අපි අලුත් ආණ්ඩුවක් වශයෙන් කොපමණ නම් අවම කර ගත්තද?, ඒවායේ වේගය කොතරම් බාල කර ගත්තද?, අපි ඒවා කොපමණ දුර්වල කළාද?," ජනාධිපතිවරයා සඳහන් කළේය.


18 වන සංශෝධනය:


දෙවසරක පාලන කාලය තුළ ලබාගත් 'ජයග්‍රහණ' විස්තර කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට වඩා, 18 වන සංශෝධනය අහෝසි වීම ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවය.

"මේ දෙවසර තුළ කිසිම මාධ්‍යවේදියෙක් මහපාරේ මැරිලා සිටියේ නැහැ. මේ වසර දෙක මාධ්‍ය නිදහසට මහෝගයක්. මාධ්‍ය නිදහස දොරේ යාමක්. දී ඇති ඒ නිදහස පරිණත වූ විට ඒ පරිණතභාවය සමග මධ්‍යයේ යහපත් විනයක් ඇති වෙතැයි මම විශ්වාස කරනවා,"

ආණ්ඩුව පෙරලා දමන බව ඇතමුන් ප්‍රකාශ කළත් එවැනි සිහින ඉටු නොවනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෝටි නව ලක්ෂයක ණය බරක් :


ඇතැම් පිරිස් පසුගිය රජයේ සහ වත්මන් රජයේ සංවර්ධන සැලැස්ම සංසන්දනය කරමින් රජයට ඇඟිල්ල දිගු කළ ද පැවති පාලන සමයේ සිදු කෙරුණු මහා සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් කෝටි නව ලක්ෂයක ණය බරක් රටට උරුම වී ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

"මමත්, අගමැතිතුමත් රජයක් වශයෙන් ඇත්ත කතා කළා, ඇත්ත කිව්වා. අපිට නැවතත් ඒ කලින් දැකපු සුන්දර ලෝකය කෘතීම ලෝකය අවශ්‍යද?, අපි ජාතික ආර්ථිකයේ ඇත්ත තත්වය තේරුම් අරගෙන ජාතියක් වශයෙන් ගොඩ නැගෙනවද?, කියන කාරණා මම ජනතාව හමුවේ තබනවා,"

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක් ද උත්සවයට එක් වී සිටියහ.

මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා වූ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමති චන්ද්‍රබාබු නායිදු මහතා විසින්  විශේෂ දේශනයක්ද එහිදී පැවැත්විය.

(බිබිසි සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top