Jan 09, 2017

අලුත් චක්‍රලේඛයෙන් විශ්‍රාමිකයන් 20,000කට අසාධාරණයක් Featured

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කර ඇති 03/2016 නව වැටුප් චක්‍රලේඛය හේතුවෙන් 2015 වසර තුළ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය 20,000 කට අධික ප්‍රමාණයකට නියමිත විශ්‍රාම වැටුප සහ අග්‍රහාර රක්ෂණ වරප්‍රසාදය ද අහිමි වී බලවත් අසාධාරණයක් සිදුව ඇති බව, 2015 - විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවක එකමුතුව සඳහන් කරයි.

2015 විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවක එකමුතුව වෙනුවෙන් එහි සභාපති සී.බී.කේ.ජේ.එන්. යටවර මහතා පෙන්වා දෙන පරිදි 2015 වසරේ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් හට එම අසාධාරණය සිදුව ඇත්තේ මෙසේය.

2014 වසරේ ලබා දුන් මැතිවරණ පොරොන්දුවට අනුව රාජ්‍ය සේවකයන්ගේ රුපියල් 10,000 ක වැටුප් දීමනාව ඔවුන්ගේ මූලික වැටුපට එක් කිරීමට නියමිතව තිබුණත් රජය විසින් එය ක්‍රියාවට නඟා ඇත්තේ කොටස් වශයෙනි.

එහි දී 2015 අයවැය යෝජනා සහ 24/2014, 24/2014 (1) චක්‍රලේඛ හරහා රජය පොරොන්දු වී ඇත්තේ පළමුව රුපියල් 3000 ක අන්තර් දීමනාවක් ලබා දී ඊට අදාළ හිඟ වැටුප් ඇතුළත් කළ නව වැටුප් ව්‍යුහයක් 2015 ජනවාරි 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරන බවය.

එහෙත් එම හිඟ වැටුප් ද ඇතුළත් නව වැටුප් චක්‍රලේඛය 03/2016 ලෙස නිකුත් කර ඇති නමුත් එය ක්‍රියාත්මක වීමට බලපැවැත්වෙන දිනය ලෙස එහි දක්වා ඇත්තේ 2016 ජනවාරි 01 වනදා ය.

ඒ අනුව 2015 වසරේ විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවක වැටුප්තල මට්ටම් අනුව රුපියල් 10,000 සිට රුපියල් 60,000ක් ඔවුන් වෙත අහිමි වන අතර ඔවුන් අත්විඳි අග්‍රහාර රක්ෂණ වරප්‍රසාද ලබා ගැනීමේ අවස්ථාව ඔවුන්ට අහිමිව ඇත.

එහෙයින් රාජ්‍ය සේවය තුළ නියමිත සේවා කාලය ඉටු කළ පිරිසක් ලෙස තමන්ට අදාළ චක්‍රලේඛය හේතුවෙන් සිදුව ඇති අසාධාරණය සලකා බලා අදාළ චක්‍රලේඛය සංශෝධනය කර සාධාරණයක් ඉටු කරන ලෙස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ වගකිවයුතු පාර්ශ්ව වෙතින් ඔවුහු ඉල්ලා සිටිති.

(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top