Jan 10, 2017

ලංකාව දිළිඳුකමින් මුදාගන්න හැටි

2017 ශ්‍රී ලංකාව දිළිඳුකමින් මුදාගැනීමේ වසරයි.ඒ පිළිබද නව අභියෝග හා අවස්ථා පිළිබද සමාරම්භක ජාතික සම්මන්ත්‍රණය අද (10 දා) ප.ව 4.30 – 6.30 ට කොළඹ කදිරගාමර් කේන්ද්‍රයේදී පැවැත්වේ.

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) විසින් 2016 සැප්තැම්බර් මස ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිලිබඳ වර්තමාන තත්ත්වය හා අනාගත අභියෝග හා අවස්ථා පිලිබඳ ප්‍රතිපත්තිමය සටහනක් යොමු කරන ලදී. එම ලියවිල්ලද ආධාරක කර ගනිමින් ජනාධිපතිතුමා 2017 දිළිඳුකමින් රට මුදාගැනීමේ වසර ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර රජයේ අනුමැතිය ලබාගෙන තිබේ. 2017 දිළිඳුකමින් රට මුදාගැනීමේ වසර ලෙස එමගින් නම්කිරීමෙන් ප්‍රතිපත්ති සම්පාදකයන්, පර්යේෂකයන්, ජනමාධ්‍ය හා මහජනතාව අතර ලංකාවේ දරිද්‍රතාවය සම්බන්ධයෙන් පවතින කතිකාවට නව ජීවයක් ලැබුණි. එමෙන් ම විවිධ දේශපාලන මත දරන්නන් හා වෘත්තිකයින්ගෙන් සමන්විත දිළිඳුකම තුරන්කිරීමේ කමිටුවක් පත්කිරීම මගින් මෙම කාලීන සංවාදය තවත් ඉදිරියට ගෙනයෑමට සමත්වීය.

ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කිරීමට සමගාමිව උතුරු මැද පළාත් සභාව හා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලව හා එක්ව CEPA ආයතනය දිළිඳුකම තුරන්කිරීමේ වැඩසටහනට අදාලව උපදේශන වැඩමුළු මාලාවක් පවත්වනු ලැබිය. එහි මුලික වැඩ සටහන 2016 ඔක්තෝම්බර් මස 15 වනදා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. ඉන්පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේ වැඩමුළු වැලිකන්ද හා ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ඔක්තෝම්බර් 27 හා 31 දිනවල පැවැත්වුණි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලද නියමු වැඩසටහනක් ලෙස මෙම වැඩමුළු පවත්වා පසුව රටේ අනෙකුත් පළාත් හා දිස්ත්‍රික්ක වෙත ප්‍රවේශ කිරීමටද CEPA ආයතනය අපේක්ෂා කරයි.

ආදායම් මට්ටම මත පදනම්ව ගණනය කරන දරිද්‍රතාව 2010 දී 22% සිට 2015 දී 7.9 % දක්වා සුවිශේෂී පහත වැටීමක් දක්වයි. දරිද්‍රතාවය හුදෙක් ආදායම මත පදනම්ව ගණනයේ සිමා පැවතුනද, ප්‍රාදේශීය මට්ටමේ ආදායම් විෂමතා තවමත් බහුලය. ආදායම් බෙදීයාමේ විෂමතාවය තවත් පුළුල් වන බවද අනාවරණය වී තිබේ. එම සන්දර්භය තුළ දරිද්‍රතාවයේ ස්වරූපය කුමක්ද, ශ්‍රී ලංකාවේ පවතින දරිද්‍රතාවයේ විවිධ තත්ත්වයන් හා අසමානතාවයන් ආමන්ත්‍රණයට ගත හැකි ප්‍රතිපත්ති හා උපායමාර්ග මොනවද ආදිය අධ්‍යයනය අවශ්‍යතාවයක් වී ඇත.

මෙම සංවාදය වඩාත් ප්‍රශස්ත හා ප්‍රයෝගික මට්ටමකට ගෙන ඒමට CEPA ආයතනය දරිද්‍රතාවය තුරන්කිරීම හා ඊට අදාල ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විද්වතුන් හා පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් ජාතික මට්ටමේ උපදේශාත්මක වැඩසටහනක් සංවිධානය කීරීමට අපේක්ෂිතය. මෙය CEPA ආයතනය විසින් එවැනි පාර්ශ්වයන් සමග පැවැත්වීමට බලාපොරොත්තු වන උපදේශන වැඩසටහන් හා වැඩමුළු මාලාවක පළමුවැන්නය. මෙම මුලික වැඩසටහනේ අරමුණ දරිද්‍රතාවය තුරන් කිරීමට අදාළ පර්යේෂණ හා ප්‍රතිපත්තිමය මැදිහත්වීම් සඳහා ක්‍රමෝපායන් හඳුනා ගැනීමයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top